Sunday, July 06, 2025
Follow Us
සරත් වීරසේකර සමග මගේ ප්‍රශ්නය තවම විසඳිලා අවසන් නෑ - ජගත් කුමාර

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග තමන්ට ඇතිවූ ප්‍රශ්නය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී අවසන්ව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ප්‍රශ්නය - සරත් වීරසේකර ඇමතිතුමා සමග ඔබේ ප්‍රශ්නය දැන් අවසන්ද ?

"අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා සහ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමක් ඒ සිද්ධියට තියෙනවා. ඒවගේම මම කියපු කාරණා නිවැරදි කරන්න ගරු අගමැතිතුමා එකඟතාවය දැක්වුවා"

ප්‍රශ්නය - ඒ කියන්නෙ ඔබේ ප්‍රශ්නයට විසඳුමක් අපේක්ෂාවෙන් ඉන්නවාද ? නැත්නම් විසඳිලා අවසන්ද ?

"නෑ, සම්පූර්ණයෙන් අවසන් නෑ. ඒක විසඳන්න බාරගත්තා අගමැතිතුමායි මුදල් ඇමතිතුමායි ජනාධිපතිතුමායි. ඉතිං එතුමන්ලා ගැන තියෙන විශ්වාසය තුළ මම එතනින් එහාට දැනට ඒගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ"

ප්‍රශ්නය - ඒ කියන්නෙ වෙන විදියකින් ඇහුවොත් පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා හැටියට ඔබ ඉල්ලපු කෙනා ලබාදෙනවාද ?

"නෑ, මම ඉල්ලපු කෙනෙක් නෑ. මගේ පොලිසියක් කරගන්නවත් වෙන කාගෙවත් පොලිසියක් කරගන්නවත් ඕනෙ නෑ පොලිසිය. ස්වාධීනව පොලිසිය පත්වෙන ක්‍රමයක් හැදෙනවා නම් එතන පොලිසියේ ස්ථානාධිපතිවරයා එහෙම දානවා නම් ප්‍රශ්නයක් නෑ. මේක මෙතනදි මම නෙවෙයි ඒ පොලිසියෙ ස්ථානාධිපතිවරයා අලුත් එක්කෙනා දාන්න වෙනවායි කියන කාරණය මට කිව්වෙ සරත් වීරසේකර ඇමතිතුමා තමයි කිව්වෙ ලොකුගේ ඇමතිතුමායි ඒ කොට්ඨාශයේ ඉන්න සංවිධායකතුමාගෙයි ඉල්ලීමට මේ කෙනාව දානවා කියලා. එතකොට මට ප්‍රශ්නය ආවෙ. ඒ අය මට යම් ප්‍රශ්න ඇතිකරලා තිබුණා ඒ කොට්ඨාශයේ වැඩකරනකොට මේ මනාප හුටපට හැමතැනම තියෙනවානෙ. ඉතිං ඒ මනාප ප්‍රශ්න නිසා ඒ අය තාමත් හිතනවා අපි වැඩකරන්න ගියාම අපට ජනතා ප්‍රසාදය එනකොට ඒක වළක්වන්න ක්‍රමවේදයක්. එතන නීතිය කැඩිලා තිබුණොත් නීතිය හරියට ක්‍රියාත්මක කළා පහුගිය ස්ථානාධිපතිවරයා. ඒක වෙනස් කරන්න යම් යම් දේශපාලනඥයො බලපෑම් කළා ඒ වෙලාවෙ. එතුමා ස්වාධීනව හිටියා. ඊට පස්සෙ එතුමාට චෝදනා ටිකක් ඇවිල්ලා අයින් කරා. මට කවුරුත් තියාගන්න ඕනෙත් නෑ, කවුරුත් පත්කරන්න ඕනෙත් නෑ. හැබැයි එතනට එන කෙනා ජනතාවගේ ප්‍රශ්නවලදී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සහයෝගය දීලා කටයුතු කරන්න ඕනෙ පුද්ගලයෙක්. එහෙම නොවුණොත් ප්‍රශ්නයක්. ඉතිං ඒක නිසායි විරුද්ධ වුණේ"

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ මාධ්‍ය නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී කරුණු දක්වමිනි.

(LNW)