Sunday, July 06, 2025
Follow Us
අපේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගියා නං මෙහෙම වෙන්නෙ නෑ අපි දැං ඉන්නෙ නේපාලයටත් පහළින්

වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූයේ කොරෝනා වසංගතය නිසා නොවන බවත්, ආර්ථික කඩා වැටීම ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේදී බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොරෝනා වසංගතයට මුවාවෙමින් පාලකයන්ගේ අසාර්ථකත්වය වසාගත නොහැකි බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.

යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙල 2019 ව‍සරෙන් පසුවත් ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උද්ගත නොවන බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ මෙම තත්වයට වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

තවදුරටත් ආර්ථිකය කඩා වැටුණහොත් ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමද අර්බුදයට යන බවද එජාප නායකයා සඳහන් කරනවා.

ලොව බොහෝ රටවලට බලපා ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් මතු වූ අර්බුදය පමණක් පවත් බොහෝ රටවල පාලකයන් එයද කළමනාකරණය කර ගැනීමට සමත්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් කොරෝනා නිසා පැමිණි අර්බුදයට ආණ්ඩුව විසින් ඇති කරගත් අර්බුදයද එකතුවීම නිසා ශ්‍රී ලංකාව තුළ දරුණු තත්වයක් උද්ගත වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය නේපාලයටද වඩා පහළ ගොස් ඇති බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

(LNW)