Thursday, April 18, 2024
Follow Us
ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන තීන්දුවක් ගන්න ශ්‍රීලනිපය සැරසේ

භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ කටින් කට පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පාර්ලිමේන්තුවේ ඉතිරි නිල කාලය සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවයි අදාළ ප්‍රකාශවලින් කියවුණේ. එහෙත් එවැනි කිසිදු සූදානමක් හෝ අදහසක් ද නොමැති බව නෙත් නිවුස් කළ විමසීමක දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර කියා සිටියේ නැවත භාරකාර ආණ්ඩුවකට හෝ ජාතික ආණ්ඩුවකට එකතු වීමේ බලාපොරොත්තුවක් නැති බවයි. දැන් බලාපොරොත්තුව විපක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතවීම බවද සඳහන් කළා.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. එහිදී කියා සිටියේ එම කාරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු ඉතාමත් වගකීමෙන් කටයුතු කරන බවත් ආගමික නායකයින්ගේ අදහස් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සහ රටේ ජනතාවගේ අදහස් පිළිබඳ අවධානය යොමු කර තීන්දුවක් ගන්නා බවත් සඳහන් කළා. ජනතාවගේ බලාපොරොත්තු කඩවන තීන්දුවක් කිසිසේත් නොගන්නා බවද සඳහන් කළා.

මේ අතර අග‍්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා සහය දෙන්නේදැයි ද නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීරගෙන් විමසා සිටියා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම දැනුම්දීමක් නැති බවත් කෙසේවෙතත් දැන් සිය කණ්ඩායම විරුද්ධ පක්ෂයේ සිටින බැවින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ නම් කරුණු සහිතව, ඡන්දය පාවිච්චි කරන බවද සඳහන් කළා.

(Neth)