අසාර්ථක පාලකයින් නැවතත් රට තුළ ආගම්වාදී ගැටුමක් ඇතිකිරීමට උත්සාහ දරමින් සිටින්නේද යන සාධාරණ සැකයක් මතුවෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
"ප්‍රහාරයක් සිදුවුණා මේ රටේ, එය ප්‍රධාන වශයෙන්ම ඉවහල් වුණා වර්තමාන පාලක කණ්ඩායම බලයට එන්න. එනිසා සාමාන්‍ය සමාජයේ මතයක් ගොඩනැඟෙමින් තිබෙනවා මේ ප්‍රහාරය ඔවුන් බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක්ද කියන තරමින් සැකයක් වර්ධනය වෙලා තිබෙනවා. අන්න ඒ සැකය, ඒ ජනතාවගේ වේදනාව, ඒ ජනතාවට ඇති සාධාරණය පිළිබඳ බර විසින් තමයි කාදිනල්තුමා මේ ප්‍රකාශ කරමින් තිබෙන්නෙ.
හැබැයි දැන් මොකක්ද කරන්න හදන්නෙ ? අන්න ඒ තත්වය ඉවහල් කරගන්නවා කතෝලික පියතුමන්ලාත්, විශේෂයෙන් කාදිනල්තුමාත්, කතෝලික භක්තිකයනුත් ඉලක්ක කරගත්තු යම් ප්‍රචණ්ඩකාරී, ආවේගකාරී, ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීම සඳහා. නැවතත් සැඟවී හිටපු පරණ කසකරුවන් - මතකයිනෙ, ජනාධිපතිවරණයට කලින් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ආහාර, වඳ දොස්තරලා කරතියාගෙන ගියපු කසකාරයින් ටික ඉන්නවා. ඒ කසකරුවො ටික පහුගිය දවස්වල දකින්නම නැතුව හිටියෙ. දැන් වේගයෙන් කරළියට ඇවිල්ලා තිබෙනවා. ඇයි ? අසාර්ථක පාලකයා යළි එවැනි ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රයත්නයක යෙදෙන බව අපට පෙනෙමින් තිබෙනවා.
එනිසා නැවත සාධාරණ සැකයක් ඇතිවෙනවා මේ ඔක්කොගෙන්ම මේ ආණ්ඩුව ලේ වැකි කුමන්ත්‍රණයක නියැළෙනවාද කියන සාධාරණ සැකය අපට ඇතිවෙනවා. දැන් ජනතාව අතරම කසුකුසුවක් තියෙනවා මොනවා හරි කරන්න වගේ යන්නෙ කියලා. ඇයි ? මේ බැරි වෙනකොට, ආර්ථිකය කඩාවැටෙනකොට, ප්‍රශ්නවලට උත්තර නැතිවෙනකොට නැවත මොකක් හරි කරන්න යනවාද කියන සැකය ජනතාව තුළ මතුවෙලා තියෙනවා. එනිසා ජනතාව මේ ගැන අවදියෙන් ඉන්න. නැවතත් මෙවැනි ලේ වැකි කුමන්ත්‍රණයක ගොදුරක් බවට අපේ රට පත්වීමට ඉඩ ලබා නොදිය යුතුයි"
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (29) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)