Monday, July 07, 2025
Follow Us
මාධ්‍ය සන්දර්ශනවලින් පුලුවන්ද හාල් මිල පාලනය කරන්න - අනුර දිසානායක

සහල් මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබෙන්නේ ආණ්ඩුවේ, අවිද්‍යාත්මක තීන්දු තීරණ නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. සහල් මිල පාලනය කිරීම සඳහා හෝ හිගයකින් තොරව සහල් වෙළඳපොලට පැමිණීම වෙනුවෙන් ආණ්ඩුවට කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබූ බවයි ජවිපෙ නායකයා පවසන්නේ.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනුර දිසානායක මහතා සඳහන් කළේ පසුගිය කාලයේදී සහල් මිල පාලනය කරන බව පවසමින්, සහල් මාෆියාව පරාජය කරන බව පවසමින් මාධ්‍ය සන්දර්ශන සිදුකළා මිස මිල පාලනයට හෝ මාෆියාව පරාජය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා, මාධ්‍ය සන්දර්ශන පැවැත්වීමෙන් සහල් මිල පාලනය කළ හැකිදැයි විමසා සිටිනවා.

වෙනත් කිසිදු භාණ්ඩයකට නොමැති තරම් ගැසට් ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ සහල් වෙනුවෙන් නිකුත් කළ බවත්, දින කිහිපයක් තුළ එම ගැසට් නැවත හකුළා ගැනීමට ජනාධිපතිවරයාට සිදු වූ බවත් ජවිපෙ නායකයා පෙන්වා දෙනවා. ඒ අතර ජනාධිපතිවරයා සිල්ලර කඩ ගානේ යමින් මිල පාලනය කළ බවත්, එයද අසාර්ථක වූ විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කර, හදිසි නීතියද ක්‍රියාත්මක කර මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් ගබඩා වැටලීමට කටයුතු කළ බවත් ‍පෙන්වා දෙන දිසානායක මහතා පවසන්නේ ඒ සියල්ලම මාධ්‍ය සන්දර්ශන පමණක් බවයි.

පසුගිය කාලයේදී කෘෂිකර්ම ඇමතිවරයා සිදු කළේ විටින් විට එකිනෙකට පරස්පර හා හාස්‍යජනක ප්‍රකාශ නිකුත් කිරීම පමණක් බවද ජවිපෙ නායකයා පවසනවා. එක් අවස්ථාවකදී සහල් ඇටයක් හෝ ආනයනය නොකරන බව පැවසූ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඉන්පසු සහල් ආනයනය කරන බව පැවසූ බවත්, තවත් අවස්ථාවකදී සහල් මාෆියාව පරාජය කරන බවත් පැවසූ බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ අවසානයේදී ආණ්ඩුව හා ජනාධිපතිවරයා සහල් මෝල් හිමියන් හමුවේ දණින් වැටී ඇති බවයි.

(LNW)