1 වැනිදා රට විවෘත කරන්නේ නෑ
ලබන ඔක්තෝබර් 1 වැනිදා බොහෝ විට රට විවෘත වීමක් සිදු නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉන්ධන වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදුකළ යුතු ගෙවීම් නිසියාකාරයෙන් සිදුකර නැති බැවින් වෙළෙඳ පොළේ ඉන්ධන හිඟයක් පවතින බැවින් දැනට පනවා ඇති අගුළු දැමීම් ඉවත් කිරීම ඔක්තෝබර් මස මැද භාගය දක්වා කල් යනු ඇතැයි තමන් සිතන බවද එජාප නායකයා සඳහන් කළේය. එජාප නායකයා මේ බව සඳහන් කරන ලද්දේ පසුගිය සති අන්තයේ (25 දා) අන්තර්ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමිනි.
‘‘අපේ විදේශ ඇමැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයාගෙන් ණයට ඉන්ධන ඉල්ලලා තිබුණා. සාමාන්‍යයෙන් ඔවුන් (එක්සත් අරාබි එමීරය) එසේ ලබාදෙන්නේ නැහැ. කොහොම වුණත් මම ප්‍රාර්ථනා කරනවා ලැබෙන්න කියලා. ඒ වගේම රටේ පවතින අගුලු දැමිම් ඉවත් කිරීම ප්‍රමාද වෙයි කියලා මම හිතනවා. ඊට හේතුව අපට ඩීසල් (ඉන්ධන) වෙනුවෙන් තිබෙන ගෙවීම් සිදුකරන්න බැරිවෙලා තියෙන නිසා. යම් හෙයකින් ඩීසල් වෙනුවෙන් අපට නියමිත පරිදි ගෙවන්න බැරි වුණොත් අගුළු දැමීම් ඉවත් කරන්න ඔක්තෝබර් මැද භාගය විතර වෙයි.
අපිට තියෙන්නේ ආනයන මත පදනම් වූ ආර්ථිකයක්. එය අපේ ජීවිතයේ අංගයක් බවට පත්වෙලා. ඒ වගේම තවත් පිරිසකගේ ජීවිකාවත් ඒ මත තීරණය වෙලා. අප මුහුණ දී සිටින අර්බුදය මෙයයි. අපට අද ඩොලර් සංචිත නැහැ. අපේ විදේශ ණය ඉහළ යමින් තිබෙනවා. අපි මෙය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්නයි අපිට ඇති ප්‍රශ්නය. අපේ අයවැය හිඟය සියයට නවයයි දශම පහේ සිට දහයයි දශම පහ දක්වා ඉහළ ගිහින් වසරක් ඇතුළත.’’
නයන තරංග ගමගේ
(Aruna)