Monday, July 07, 2025
Follow Us
ජාවාරම්කාරයින් සැනසීම පැත්තකට දමා ජනතාවට සහන දීමට වහා මැදිහත් වෙන්න.

වර්තමානයේ ජනතාවට අවශ්‍ය වන්නේ පෝලිම් යුගය පැවති රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වයක් නොව ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ හැකි, ධනවාදී අරමුණු වෙනස්කර දමන දේශපාලන ක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (27) දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

දිගින් දිගටම රට තුළ බඩුමිළ වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් දක්නට තිබෙන බවත්, මෙහිදී ආණ්ඩුවට එම ගැටළු විසඳීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගත තත්ත්වය තුළ පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකිරීමට ආණ්ඩුවේ මැදිහත් වීමක් සිදුනොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

බලය හමුවේ ජාතිවාදය ඇවිලීමෙන් දමිළ හා මුස්ලිම් ජනතාව අමනාප කරගත් ආණ්ඩුව වර්තමානයේ කතෝලික ප්‍රජාව ද අමනාප කර ගනිමින් සිටින බවත්, සෞභාග්‍යය කරා යෑම පසෙක තබා රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව තුළ පවතින අසමඟිකම වසාගැනීමට ජාතිවාදය අවුලමින් සිටින බවත් පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සමාජය තුළ කලඑළි බසිමින් පවතින ජාතිවාදය හා ආගම්වාදය පිළිබඳව අවබෝධයෙන් පසුවන ලෙසයි.

 

"දිගින් දිගටම රට තුළ බඩුමිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් තිබෙනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳීමට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කොරෝනා වසංගතයට මුහුණ දීලා ඉන්න පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. මේ නිසා දිගින් දිගටම භාණ්ඩ මිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් ඇතිවී තිබෙනවා. මේ නිසා පෝලිම් යුගය ගැන අලුතින් බයක් ඇතිවී තිබෙනවා. ගෑස් හිඟය නිසා, කිරිපිටි හිඟය නිසා, පෝලිම් ඇතිවීම මේ දවස්වල දකින උදාහරණයි. නමුත් ජනතාවගේ මූලික අවශ්‍යතා විසඳන්න ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. සෞභාග්‍යයේ දැක්මට අනුව රට ගොඩනගන්න ආපු ආණ්ඩුවක් ජනතාවට තුන්වේල කන්න දෙන්න බැරි මට්ටමකට පල්ලම් බැස තිබෙනවා. මේ කිසිදු දෙයක් ආණ්ඩුවේ ලොක්කන්ට දැනෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට රට ගෙනියන්නේ කොහෙටද කියලා දැක්මක් නැහැ. ඡන්ද කාලයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොල කෑලි විතරයි. දැන් පරිපාලන යාන්ත්‍රණය බිඳවැටිලා නිලධාරීන් කෙළවරක් නැතිව ඉල්ලා අස්වෙමින් තිබෙනවා. හැම තැනම අරාජිකත්වයක් තියෙන්නේ. රට ඉබාගාතයේ ගමන් කරමින් තිබෙනවා.

මේ තුළ ආණ්ඩුවේ ප්‍රධානීන් තමන් හම්බකරගන්න ගමන් හිතවතුන්ට, ජාවාරම්කාරයින්ට හම්බ කරගන්න ඉඩ දී තිබෙනවා. ජනතාව මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටිනවා. ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ කිසිවෙකුත් කිසිවකට වගකියන්නේ නැහැ. ඔවුන් ජනතාවට, ජනවරමට වගකියන්නේ නැහැ. දැන් තියෙන්නේ ව්‍යවස්ථාවකට, නීතිරීතිවලට අනුව රට පාලනය කරන ආණ්ඩුවක් නෙවෙයි. පවුලක් වටා මුදල් එකතු කිරීම අරමුණු කරගත් කොල්ල කල්ලියක් සිදුකරන කාර්යයක් තිබෙන්නේ. මේ නිසා රටේ ජනතාව පීඩාවට පත් වී රට වේගයෙන් විනාශය කරා ගමන් කරමින් තිබෙනවා. නමුත් ආණ්ඩුව කරන්නේ සංදර්ශන පාන එක විතරයි. පාරිභෝගික අධිකාරියට හමුදාවේ ප්‍රධානියෙක් පත්කරලා භාණ්ඩ මිල අඩු කරන බව කීවා. මේ අය සමහර වෙලඳසැල්වලට ගිහින් කන් කුඩුවෙන්න ගහන බව කීවා. වී මිලදී ගැනීමට හමුදා බි්‍රගේඩියර්වරයෙක් මැදිහත් කළා. දැන් වීත් නැහැ, ඒ හමුදා ප්‍රධානියාත් නැහැ. දැන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඉන්නවා. ඒ කොමසාරිස්ට අත්‍යවශ්‍ය ගෑස් ටික ලබාදෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම හාල් මෝල් වටලනවා කියලා සද්දයක් දැම්මා. නමුත් වෙළඳපොළේ හාල් මිල හැමදාමත් වැඩිවෙනවා. මේ හැම දෙයක්ම ජනතාව රවටන්න මාධ්‍යවලින් පෙන්වන සංදර්ශන විතරයි. ඇත්ත ප්‍රශ්නය භාණ්ඩ මිල අඩු කිරීමට ආණ්ඩුවට ඕනෑකමක් නැහැ; සැලැස්මක් නැහැ; වැඩපිළිවෙළකුත් නැහැ. සංදර්ශන කරනවා පමණයි.

ඉදිරියේදී හාල් මිල තවත් වැඩි වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. මහ කන්නයේ වගා කරන්න ගොවීන්ට අවශ්‍ය පොහොර නැහැ. කෘෂි රසායන නැහැ. මේ නිසා අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා හාල් හිඟයක් ඇතිවෙනවා. ආණ්ඩුවට ඒකට උත්තර නැහැ. පහුගිය දවස්වල පිට රටින් හාල් ගේන බවට සමහර ඇමතිවරු කයිවාරු ගැහුවා. නමුත් තෙල් ටික ගේන්න, වරායට ආපු බඩු ටික නිදහස් කරගන්න ඩොලර් නැතිව හිඟා කමින් ඉන්නේ. ඒ අතරේ රටින් හාල් ගේනවා කියන එක විහිළුවක්. අපේ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටී ආහාර සුරක්‍ෂිතතාවය අහිමි වෙනවා. අපි ඒ බව පෙන්වා දෙද්දිත් උද්දච්චකමකට කයිවාරු ගහනවා මිස වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ණය අරගෙන හොරකම් කරලා දැන් ණය ගෙවන කාලය. මේ නිසා විශාල වශයෙන් ඩොලර් හිඟයක් තිබෙනවා. ඩොලර් හොයන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න පවා පිටරටින් ණය ගන්න සිදු වෙලා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් තෙල් ගේන්න ඉල්ලා තියෙනවා. ඩොලර් හිඟය නිසා භාණ්ඩ ගෙන්වන්න බැරි බව ව්‍යාපාරිකයෝ කීවාම අගමැතිවරයා මැදිහත් වෙලා විසඳන බව කීවා. දැන් විසඳලාද තියෙන්නේ? සැලැස්මක් නැති ආණ්ඩුවක් නිසා වෙළඳපොළේ හිඟයක් ඇතිවී නැවතත් මිල වැඩිවෙනවා. පෝලිම් ඇතිවෙනවා.

දේශීය නිෂ්පාදන වැඩිකරන බව දැන් ආණ්ඩුව කියනවා. කිරිපිටි අගුණ බව කියනවා. නමුත් අපේ රටේ ජනතාවට වසවිස නැති දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළක් නැහැ. අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා කෘෂිකර්ම ඇමති වෙලා හිටිය කාලයේ කිරි කර්මාන්තය දියුණු කරන්න වැඩපිළිවෙළක් හැදුවා. කිරි ගොවි ගම්මාන පිහිටවූවා. නිෂ්පාදනය වැඩිකර මිල්කෝ සමාගම ඉතිහාසයේ පළවැනි වතාවට ලාභ ලැබුවා. නමුත් කොම්පැනිකාරයින්ගේ අල්ලස්වලට යටවී සියල්ල කඩා බිඳ දැම්මා. කිරි විසයි කියන ආණ්ඩුව බාර් අරිනවා. බාර් හිමකාර මැති ඇමතිවරුන්, ආණ්ඩුවේ ආදායම් වෙනුවෙන් ඇඳිරි නීතිය තියෙද්දී බාර් ඇරලා පෝලිම් හැදුවා. මේ අතරේ සුදුළුෑණු වංචාවක් පිළිබඳ හෙළිවී තිබෙනවා. රුපියල් 150ට විතර වෙළඳපොළේ විකුණන්න තිබුණු සුදුළුෑණු රු. 250ත් ඉක්මවලා මිල වැඩිවෙලා. මේක ආණ්ඩුවක් නෙවෙයි, කොල්ල කල්ලියක් කියන්නේ ඒකයි. ඒ නිසා ආණ්ඩුවේ අය කියන බොරු විශ්වාස කරන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සපයන්න මේ අය අසමත් කියන එක දැන් ඇතිවෙන්න සහතික කරලා තියෙන්නේ. බලයට එන්න ඉස්සෙල්ලා “අපි දන්නවා සල්ලි හොයන ක්‍රමය” කියපු අය දැන් කරමින් ඉන්නේ මොනවාද? දැන් ජනතාව භුක්ති විඳින්නේ මේ ආණ්ඩුවත් ඇතුලුව පහුගිය කාලය පුරාම අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයි.

පසුගිය කාලයක් තිස්සේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා වෙනුවට කොමිස්වලට ණය ගත්තා. ගත්ත ණය නාස්ති කළා. ඒ නිසා රටේ නිෂ්පාදනයක් ඇතිවුණේ නැහැ. ණය ගෙවාගන්නත් බැහැ. මේ නිසා විදෙස් මුදල් සංචිතය අඩුවෙනවා. ඒ නිසා රුපියල කඩා වැටෙනවා. අනෙක් පැත්තෙන් සල්ලි අච්චු ගහනවා. මේ දෙක නිසාම බඩුමිල වැඩිවෙනවා. ව්‍යාපාර කඩාවැටෙන්නෙත්, ආනයනය සීමා කරන්නෙත් භාණ්ඩ හිඟ වෙන්නෙත් නිෂ්පාදනයක් නැති වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසයි. මේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ඒ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය පවත්වාගෙන යන දේශපාලනය වෙනස් නොකර මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ. මේ වෙනුවෙන් ස්ථිර ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරපල්ලා කියලා ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙනවා. පීඩනය දරාගෙන මිනිස්සු ඉන්නේ කොරෝනා තත්වය නිසයි. ජනතාවට විහිළු සපයන්නේ නැතිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සපයන්න ආණ්ඩුව මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරනවා.

ඒ වගේම ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගෙනකොට ඒ අයගේ පරණ සෙල්ලමම ජාතිවාදය මතුකිරීම ආයෙත් පටන්ගෙන තිබෙනවා. එක එක සේනා බැහැලා මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන් දැවැන්ත ජාතිවාදයක් ඇවිස්සුවා. බලයට පත්වුණාට පස්සේ ඒ ජාතිවාදී නඩ ඔක්කොම ඔළුව හංගා ගත්තා. ආණ්ඩුවේ අවශ්‍යතාවයට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ගන්නකොට මේ නඩ හිටියේ ඔළුව හංගාගෙනයි. 20වැනි සංශෝධනය සම්මත කරගෙන හදිසි නීතිය සම්මත කරගන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අරගෙන දැන් ජාතිවාදී නඩ එළියට බැහැලා ඉන්නවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම සහ ලංකාව තුළ ක්‍රියාත්මක වීම තුළ අපි පැහැදිලි වෙනසක් දකිනවා. කතෝලික ජනතාවට, කාදිනල්තුමාට එරෙහිව නැවත වෛරය ඇතිකරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවේ මුස්ලිම් විරෝධයක් ඇතිවී ගැටුමක් දක්වා යාම වළක්වන්න කාදිනල්තුමා විශාල වශයෙන් මැදිහත් වුණා. යුක්තිය ඉටුකරගන්න ක්‍රමයක් හොයාගමු කියලා කතෝලික ජනතාව තුළ තිබුණ පීඩනය නතර කළා. ඒ සම්බන්ධයෙන් එතුමාට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් දැන් ජනාධිපති පත්වෙලා අවුරුදු දෙකකට කිට්ටු වුණත් පරීක්‍ෂණ අයාලේ යමින් තියෙනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුවුණේ නැහැ. මේ නිසා කාදිනල්තුමා ආණ්ඩුවට බලකරමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව තමන් ළඟ හිටපු බලවේග එළියට දාලා කාදිනල්තුමාට පහර දෙනවා.

බලය වෙනුවෙන් ජාතිවාදය අවුළුවලා දෙමළ ජනතාව අමනාප කරගත්තා. මුස්ලිම් ජනතාව අමනාප කරගත්තා. දැන් කතෝලික ප්‍රජාවත් අමනාප කරගන්න යන්නේ. සෞභාග්‍යය කරා යනවා නම් සමගිය තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරන්නේ මේ මොහොතේ තිබෙන ආර්ථික අර්බුදය සහ ආණ්ඩුවේ අසමගිකම වහගන්න ජාතිවාදය අවුස්සන එකයි. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ ගැන ප්‍රශ්න කරනකොට උත්තර දෙන්න බැරිව ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. මේ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ ජාතිවාදය අවුස්සන්න කලඑළි බහින කණ්ඩායම් පිළිබඳව අවබෝධයෙන් ඉන්න කියලා. මේ අය රටට ආදරය ඇති අය නෙවෙයි. ජනතාවට ආදරය ඇති අය නෙවෙයි. පාලකයින්ගේ කොන්ත්‍රාත් ඉටුකරමින් ජනතාව භේද කරන අයයි. රට අගාධයට අරගෙන යාමට දායක වන අය බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ නිසා අපි අවධාරණය කරන්නේ රට ඉතා අනතුරුදායක තත්වයක තිබෙන බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා. මේ තත්වය වෙනස් කිරීමට අපේ රටේ දේශපාලනය වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

(LNW)