මත්පැන් භාවිතා කිරීම නීති මගින් සිදුකළ නොහැක්කක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ නිසා සුරාසැල් යළි විවෘත කිරීමේ කිසිදු වැරැද්දක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
සුරාසැල් වසා තැබූ කාලයේදී පවා මත්පැන් භාවිතයේ අඩුවක් සිදු නොවූ බව පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ මුදල් ඇති පුද්ගලයන් වැඩි මිලට හෝ මත්පැන් මිලදීගෙන පානය කරන බවයි. ඒ අනුව සුරාසැල් විවෘත කිරීම හරහා නීතිවිරෝධී ලෙස වැඩි මිලට මත්පැන් විකිණීම සිදු නොවන බවත්, මත්පැන් බීමට අකමැති අයට නොබී සිටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
සුරාසැල් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන්නේ කවුද යන්න පිළිබඳව මතුව ඇති සංවාදය සම්බන්ධයෙන් අදහස් දක්වන ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ කවුරුන් තීරණය කළද එය ඉතා යහපත් තීරණයක් බවයි. එහි වගකීම බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ නම් සුරාසැල් විවෘත කිරීමේ වගකීම බාර ගැනීමට තමා සූදානම් බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරනවා.
(LNW)