Monday, July 07, 2025
Follow Us
අපේ කරුණු ගැන බැසිල් සලකා බලයි කියා හිතනවා. ආණ්ඩු විරෝධීන් එක්ක අපට එකඟවෙන්න බෑ - විමල්

කෙරවලපිටිය බලාගාරයේ කොටස් සහ LNG සැපයුම ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශෙෂ සැලකිල්ලක් දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

"විවාදයට භාජනය වෙලා තියෙන LNG සැපයුම පිළිබඳ ප්‍රශ්නය, බලාගාරය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කළා. අපි අපේ අදහස ඉදිරිපත් කළා. මුදල් ඇමතිතුමා එතුමාගෙ පැත්තෙන් කරුණු පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා පැමිණි පසුවත් නැවත මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මොකද අපි දරණ මතයත් තවත් අය දරණ මතයත් අතර වෙනස්කම් තියෙන නිසා. අපි පක්ෂ නායකයින් 10ක් හෝ 11ක් පමණ අත්සන් කරලා අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් බාරදීමට නියමිතව තිබෙනවා. එමගින් අපි එතුමාගෙන් ඉල්ලා හිටින්නෙ පැමිණි වහාම අපට මේ ගැන සාකච්ඡා කරලා අපේ අදහස ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාගැනීම"

ප්‍රශ්නය - අගමැතිතුමාගේ සාධනීය පැත්තක් තියෙනවාද මේ සම්බන්ධයෙන් ?

"අගමැතිතුමා මෙතනදී ඇත්ත වශයෙන්ම මධ්‍යස්ථව කටයුතු කළේ. කිසිම පාර්ශ්වයක මතයක් නියෝජනය කළේ නැහැ. අපි හිතනවා අපි ඉදිරිපත් කළ කරුණු පිළිබඳව ගරු මුදල් ඇමතිතුමා විශේෂ සැලකිල්ලක් අවධානයක් යොමුකරයි කියලා"

ප්‍රශ්නය - දැන් වෘත්තීය සමිති අරගලයකට සූදානම් වෙනවා මේ සම්බන්ධයෙන්. ඔබතුමාලාත් ඒ සමග එකඟයිද ?

"අපි ආණ්ඩුවේ ඉන්න කොටස්නෙ. අපට ඉතිං ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති එක්ක එකඟවෙන්න බැහැ. නමුත් වෘත්තීය සමිතිවලින් ඉදිරිපත් කරන සමහර අදහස් පිළිබඳව අපට එකඟ වෙන්න පුළුවන්. අපි බලමු"

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)