Friday, April 26, 2024
Follow Us
2020ට මාව නවත්වන්න කාටවත් බැහැ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව තහවුරු කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අතර සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා වන අදියරේ පවතින බවද කියාසිටියේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂයෙන් ආණ්ඩුවෙන් දැඩි විවේචන එල්ල වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථාවරේ වෙනසක් නැති බව දැන් අවධාරණය කර අවසන්ය.

අල් ජසීරා පුවත් සේවයට සාකච්ජාවක් ලබා දෙමින් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තමන් අනිවාර්යයෙන් 2020 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි.

"Definitely I'm contesting"

තමන් ඒ ගැන දිගුකාලයක් සිට තීරණය කර තිබූ අතර තමන්ට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වෙනත් හේතුවක් නොමැති බවද ඔහු පවසා තිබේ.

රට සහ ජාතිය වෙනුවෙන් තමන් තීරණ ගන්න බවයි ඔහු සිය සාකච්ජාවේදී පෙන්වා දී ඇත්තේ.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණ සටන වෙනුවෙන් යම් ඉලක්කයක් ලබා දී තිබේ. ඔහු ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්ද නැත්නම් වෙනත් සන්ධානයකින් හෝ ස්වාධීනව ද යන්න මෙතෙක් පැහැදිලි නැත. පසුගිය කාලය තුළ කියවුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ඔහුට නොලැබෙනු ඇති බවයි. එහෙත් ඒ රාජපක්ෂ සහෝදරයින් වගද අප අමතක කළ යුතු නැත.

එසේත් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය වෙනත් දේශපාලන උපක්‍රමයක්ද විය හැකිය.

කෙසේවෙතත් දැන් යළිත් ජනාධිපතිවරණ සංවාදය අළුත් වන අතර ඊළඟ අපේක්ෂාව ගෝඨාභයට එරෙහි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ අපේක්ෂකයා කවුරුන්ද යන්නයි.

(LNW)