Tuesday, October 22, 2024
Follow Us
සාලින්දගෙන් හිස් වූ මන්ත්‍රී ධුරය තවත් ’රජ නාඩගමක්’ වෙන ලකුණු

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය මේ වනවිට හිස්ව තිබේ.

සාලින්ද දිසානායක මහතා පසුගිය 2015 මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී මනාප ඡන්ද 54,318 ක් ලබා ගැනීමට සමත් විය. ඒ සන්ධාන මනාප ලැයිස්තුවේ 06 වැනියා ලෙසයි.

සන්ධාන මනාප ලැයිස්තුව අනුව තේරී පත් නොවූ අපේක්ෂකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින්නේ ශාන්ත බණ්ඩාර මහතාය. ඔහු මනාප 42,889 ක් ලබාගෙන තිබේ. කෙසේ වෙතත් ඔහු මේ වනවිටත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී. හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඔහු එම පුරප්පාඩුව සඳහා පත් කෙරිණි.

ඒ අනුව ඊළඟට සිටින්නේ එච්.එම්.ඩී.බී. හේරත් මහතාය. ඔහු පසුගිය මැතිවරණයේදී මනාප ඡන්ද 42,719 ක් ලබාගෙන සිටී.

මේ අතර දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී, සාලින්දගෙන් හිස් වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා දිවුරුම් දීමට සූදනම් වන බව වාර්තා වේ. ඒ ජනාධිපතිවරයාගේ හා ශ්‍රීලනිපයේ තීරණය මතයි.

එසේ වුවහොත් නැවතත් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රීලනිප හිතවාදියෙකු පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට අවස්ථාව හිමි වේ. සාලින්ද දිසානායක මහතා රාජපක්ෂ කඳවුර සමග සිටි අතර ඒ අනුව ජනාධිපතිවරයාට සමීප කණ්ඩායමේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව හිමිව තිබේ.

පසුගිය කාලයේදී සිදු වූ ඇමතිවරුන්ගේ, ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම්, නැවත පත් කිරීම්, දිවුුරුම් දීම්, විෂයයන් මාරු කිරීම් ආදිය නිසා මෙය දැන් රජ නාඩගමක් බවට පත්ව ඇති අතර ඒ අනුව ජනතාව නොසිතනා ඕනෑම දෙයක් වුවද සිදුවිය හැකිය.

පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව, විධායකය, ජනමතය සියල්ල විකෘති වී ඇති අතර ජනතාවට දැන් සිදුව තිබෙන්නේ තමන් විසින් පත්කළ ජනතා නියෝජිතයන් තම සිතුම් පැතුම් ඉටු කරන අයුරු නොව, දවසින් දවස පෙන්වන නාඩගම් බලා සිටීමටය.

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එදා පෙනී සිටි ජනතාවගෙන් අතිශය බහුතරයක් අද ඔහු සමග නොමැත. එදා ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන පක්ෂ හා සංවිධාන බහුතරයක් ද ඔහු සමග නැත. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්වූයේ කුමන පක්ෂයෙන්ද, ඔහු අද සිටින්නේ කුමන පක්ෂය තුළද යන්න ජනතාවට තබා ඔවුන්ටද සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඒ තරමටම සියල්ල විකෘති වී තිබේ. විකෘතිය ප්‍රකෘතිය වී තිබේ.

මෙ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා දැනුම විශ්වවිද්‍යාලයකින් ලබාගත නොහැකි බවයි. දේශපාලනඥයන් මිලියන ගණන්, කෝටි ගණන මුදල් විසිකර කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැන ගන්නට දඟලන්නේ ඒ නිසා වියයුතුය. කෙසේ හෝ එම වටිනා දැනුම් සම්භාරය ලබා ගැනීමට විය යුතුය.

වසර 13 ක් නොවිඳිනා දුක් විඳ පාසල් අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතිශය තරගකාරී විභාගයකින් සමත් වී විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නා අතර, මළපොතේ අකුරක් නොදන්නා පුද්ගලයෙකුට වුවද මුදල් බලය ඇත්නම් කෙසේ හෝ පාර්ලිමේන්තු කඩයිම පන්නා ගත හැකිය. විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන තරුණ තරුණියන් තවත් වසර තුනක් හෝ හතරක් අධ්‍යාපනය ලබා නැවත පාරට බැස කඳුළු ගෑස් කමින් උපාධියට නිසි වටිනාකමක් ඉල්ලද්දී, මැති ඇමතිවරුන් ආරක්ෂකයන්ද පිරිවරාගෙන සැපපහසු මෝටර් රථවලින් 'රූං ගා' පියඹා යන්නේ විශ්වවිද්‍යාලයකින් ලබාගත නොහැකි, පාර්ලිමේන්තුවෙන් ලබාගත් දැනුමේ අහුසින් විය යුතුය.

(LNW)