Thursday, April 18, 2024
Follow Us
රනිල් - ධම්මික පෙරේරා අතර හමුවක් ! 2020 පොදු අපේක්ෂකයා ධම්මික ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා හොර රහසේම ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවසට ගොස් තිබෙනවා. ඔහු තම ආරක්ෂකයන් තබා නිළ රියදුරු හෝ නොමැතිව මෙම ගමන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයා එහිදී ධම්මික පෙරේරා මහතා සමග වත්මන් දේශපාලන තත්වය හා ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර අවසානයේදී අගමැතිවරයා ධම්මික පෙරේරා මහතාට යෝජනා කර තිබෙන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසයි.

ඒ පිළිබදව කරුණු දක්වමින් අගමැතිවරයා පවසා ඇත්තේ, මේ වනවිට පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාව කළකිරීමෙන් සිටින බවයි. බොහෝ දෙනෙක් දේශපාලනයට පරිබාහිර අලුත් මුහුණක් පිළිබදව බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ සදහා සුදුසුම පුද්ගලයා ධම්මික පෙරේරා බවත් අගමැතිවරයා පවසා තිබෙනවා.

ඔයා ජනාධිපති - මං අගමැති

'මේ වෙලාවෙ රට ඉල්ලන්නෙ ඔයා, රට ගොඩනගන්න සුදුසුම කෙනා ඔයා, ඒකට ඔයාට දර්ශනයක් තියනවා. ඒක නිසා අපේ පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න. මම පක්ෂයේ පූර්ණ සහයෝගය ඔයාට අරන් දෙනවා. ඔයා ජනාධිපති වෙන්න, මම දිගටම අගමැතිවෙලා ඉන්නං' යනුවෙන් වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස ප්‍රකාශ කර තිබේ.

මේ සදහා ධම්මික පෙරේරා ද යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

කලෙක පටන් ඔහු දේශපාලනයට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ඉගි පළකළ අතර අගමැතිවරයාගේ මෙම තෝරාගැනීමට ද එම ඉගි හේතු වූවා විය හැකිය.

මහින්ද - මෛත්‍රී දෙන්නම

ධම්මික පෙරේරා පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවයි. තමන්ට සියල්ලන්ගේම සහයෝගය ගතහැකි බවත්, ජනාධිපතිවරණයට යන්නේ නම් තමාගේ මැතිවරණ සටනේ 'කැම්පේන් මැනේජර්' වන්නේ ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන බවත් ඔහු අගමැතිවරයාට පවසා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ද තමන්ට හිමිවන බවත්, එසේ වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෞරවාන්විත සමුගැනීමක් දීමට තමන් කටයුතු කරන බවත් ධම්මික පෙරේරා අවධාරණය කර තිබේ.

'රාජපක්ෂ පවුලෙ සහයෝගය ගන්න එකත් මට ප්‍රශ්නයක් නෑ. එයාලට කොහොමත් බෑ මට එරෙහි වෙන්න. අනිත් එක පෞද්ගලික මාධ්‍යත් මාත් එක්ක ඉන්නවා. බලාගෙන ගියාම හැමෝම ඉන්නෙ මාත් එක්ක' යනුවෙන් ධම්මික පෙරේරා වැඩිදුරටත් පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධම්මික පෙරේරාට එරෙහි වුවද මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල නම්, ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එකහෙළාම සහයෝගය දක්වනු ඇත. ඊට හේතුව වන්නේ පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළ රාජපක්ෂ පවුල විසින් කොල්ල කෑ ධනයෙන් වැඩි ප්‍රතිශතයක් ආයෝජනය කර ඇත්තේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාර ජාලය තුළ වීමයි. ඒ අනුව ධම්මිකට විරුද්ධ වීම යනු රාජපක්ෂලා ලබන බරපතල පාඩුවකි.

පොල්ලෙ යන්න කැමති රනිල්

මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ රනිල් වික්‍රමසිංහ යනු මහන්සි නොවී ඵල නෙලා ගැනීමට උත්සාහ කරන කූට දේශපාලනඥයෙකි. එසේ නැතහොත් බයිසිකලේ පැදීමට මහන්සි නොවී පොල්ලෙ වාඩිවී තමාට අවශ්‍ය ගමන යාමට උත්සාහ කරන්නෙකි. 2010 දී බයිසිකලය පැදීමට සරත් ෆොන්සේකා මහතා අල්ලා ගත් අතර 2015 දී ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කළේය. 2020 ඔහුගේ තේරීම ධම්මික පෙරේරාය.

ධම්මික පෙරේරා සහ අගමැතිවරයා අතර හමුව සම්බන්ධීකරණය කර ඇත්තේ මෙරට ප්‍රකට මහා නායක හිමිපාණන් වහන්සේ නමක් බවයි අප වෙත වාර්තා වන්නේ.

දෙදනා අතර පැවති සතර කන් මන්ත්‍රය අනුව නම් ධම්මික පෙරේරා රනිල්ගේ යෝජනාවට එකහෙලාම කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව බොහෝදුරට එජාපය ප්‍රමුඛ සන්ධානයේ 2020 අපේක්ෂකයා දැනටමත් තෝරාගෙන හමාරය.

(LNW)