Thursday, May 16, 2024
Follow Us
අවසන් එකඟතාවකට එන්න ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කරයි

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (15) දිනයේ අවසන් එකඟතාවකට පැමිණීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ සහභාගීත්වයෙන් ආරම්භ වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. මෙහිදී රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ පැවසුවේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට පූර්ණ සහය ලබාදෙන බවයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා. එහි උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ගෙත් සියයට සියයක සහයෝගය මේ සඳහා ලැබෙයි යනුවෙන් විශ්වාස කරන බවයි.

ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් සඳහන් කළේ කණ්ඩායම් සාකච්ඡාවේදී මේ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

(Neth)