Sunday, November 29, 2026
Follow Us
දිට්වා සුළිකුණාටුවෙන් හානි වූ ගැටඹේ ජල තුළුමුව හා පොම්පාගාරය පූර්ණ ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව ජනතා අයිතියට පත් කෙරේ

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් දැඩි හානි සිදුව අකර්මණ්‍ය වූ මහනුවර ගැටඹේ ජල තුළුමුව හා පොම්පාගාරය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරීම අද (28) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රුපියල් මිලියන 350කට අධික මහනුවර මහ නගර සභා අරමුදල් යොදා ගනිමින්, ආපදාව සිදුවී වසරක් ඇතුළත ගංවතුරෙන් හානි වූ ජල තුළුමුව හා පොම්පාගාරය පූර්ණ ප්‍රතිසංස්කරණයකට හා නවීකරණයකට ලක් කර නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර ඇති අතර, ඉදිරියේදී ඇති විය හැකි ආපදා සහ අවදානම් තත්ත්වයන්ට වඩාත් සාර්ථකව මුහුණ දිය හැකි වන පරිදි මෙම ජල පද්ධතිය වැඩිදියුණු කර තිබේ.

මේ තුළින් මහනුවර ප්‍රදේශයේ ජනතාවට අඛණ්ඩ ජල සැපයුම් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇති අතර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කර තිබීම ද විශේෂත්වයකි.

මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පොම්පාගාරයේ පරිපථ කාමරය වෙත ගොස් සමරු ඵලකය නිරාවරණය කර, ප්‍රතිසංස්කරණය කළ පොම්ප පද්ධතිය ක්‍රියාත්මක කරමින් එය ජනතා අයිතියට පත් කළාය. අනතුරුව පොම්පාගාරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමිය , මහවැලි ගඟට ඉහළින් පිහිටි පාලම වෙත ගොස් ජල තුළුමුව ආශ්‍රිත පරිශ්‍රය ද නිරීක්ෂණය කළාය.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමිය පොම්පාගාරයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් හා ජල කාර්මිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඔවුන් ලබා දුන් දායකත්වය සහ කැපවීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්තාය.

ආපදා තත්ත්වය හමුවේ මහනුවර ජනතාවට කඩිනමින් පානීය ජලය සැපයීමට රාජ්‍ය නිලධාරීන් දැක්වූ කැපවීම අගය කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, අභියෝගාත්මක අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණය සහ ජනතාව එක්ව ක්‍රියා කිරීමෙන් ගැටලු සාර්ථකව කළමනාකරණය කරගත හැකි බව සඳහන් කළේය.

ආපදා තත්ත්වයෙන් පසු දින දෙකක් ඇතුළත තත්ත්වය සමනයට පත් කර තෙවැනි දිනය වන විට ජලය බෙදාහැරීම ආරම්භ කිරීමට හැකි වූ බවත්, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ ප්‍රතිපාදනවලින් අතිවිශාල ප්‍රමාණයක් වැය කරමින් ඉහළ ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා, රට ස්ථාවරත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තුළ රාජ්‍ය සේවකයන්ගේ කාර්යභාරය මෙන්ම රට ගොඩනැඟීම සඳහා රජය, රාජ්‍ය සේවය සහ ජනතාව අතර පවතින සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කළේය.

මෙම අවස්ථාව⁣ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේකර, මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක යන මහත්වරුන් ඇතුළු මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහනගර සභා කොමසාරිස්තුමිය, ප්‍රාදේශීය සභා කොමසාරිස්තුමිය, ප්‍රධාන ඉංජිනේරුතුමා ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.