ශ්රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මිනිසා කේන්ද්ර කරගත් කුසලතා සංවර්ධනය අත්යවශ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්රී ලංකා පරිගණක සංගමයේ (CSSL) ස්වර්ණ ජයන්තියට සමගාමීව ඔක්තෝබර් පසුගියදා (14) කොළඹදී පැවති 44 වන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්රණයේදී (NITC 2026) අගමැතිනිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිනිය
රජයේ ප්රධාන ඩිජිටල්කරණ වැඩපිළිවෙල සහ ඉදිරි ඉලක්ක යටතේ, රාජ්ය ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GovPay වේදිකාව හරහා 2025 දෙසැම්බර් වන විට රාජ්ය ආයතන 215 කට වැඩි සංඛ්යාවක් පුරා රුපියල් බිලියන 2 කට අධික ගනුදෙනු ප්රමාණයක් සාර්ථකව සිදු කර තිබෙනවා.
අධ්යාපන ක්ෂේත්රයේ ඩිජිටල් පරතරය නැති කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකයක පදනම පාසල් පන්ති කාමරයෙන් ආරම්භ කරනවා, එහිදී තාක්ෂණික උපාංග ලබා දීමට අමතරව ගුරුවරුන් පුහුණු කිරීම, ඩිජිටල් සාක්ෂරතාවය සහ විචාරශීලී චින්තනය වර්ධනය කිරීමට ප්රමුඛතාව ලබා දෙමින් රජය කටයුතු කරමින් යනවා.
හදිසි ආපදා අවස්ථාවලදී සන්නිවේදන කටයුතු නොකඩවා පවත්වාගෙන යාම සඳහා 'ආධුනික රේඩියෝ හදිසි සන්නිවේදන ජාලයක්' (Amateur Radio Emergency Communication Network) ස්ථාපිත කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කෘත්රිම බුද්ධිය රාජ්ය හා පෞද්ගලික අංශයට අනුකලනය කිරීමේදී විනිවිදභාවය, වගවීම සහ මානව සුභසාධනය මුල් කරගත යුතුයි.
ජපානයේ Society 5.0 දැක්ම සහ සිංගප්පූරුවේ SkillsFuture වැඩසටහන මෙන් තාක්ෂණය තවත් මෙවලමක් පමණක් නොවන බවත්, අවසාන ඉලක්කය රටේ සියලුම පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ සැමට සම අවස්ථා උදාකර දීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම බවත් අගමැතිනිය පැවසුවාය,
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී යන මහත්වරුන් ඇතුළු ශ්රී ලංකා පරිගනක සංසදයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.