Monday, July 27, 2026
Follow Us
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල නොවන වාහන පැවරීමකට අදාළව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව සහ රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එමෙන්ම, අදාළ මෝටර් රථයේ පළමු පැවරීම සිදු කිරීම සඳහා කවුළු අංකයක් ලබාදී, එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කළ බවට ද චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු වූ විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර නමැත්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.