ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැමිණෙන ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පෙබරවාරි 26 දින පැවති ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා - ඉන්දියා සංගමය (Sri Lanka India Society) සංවිධානය කළ විශේෂ සැමරුම සහ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
ශ්‍රී ලංකා - ඉන්දියා සංගමයේ නිල සඟරාව එළිදැක්වීම සහ "Port of Call" ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරිය සහ මහ කොමසාරිස්වරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණ.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
1949 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා-ඉන්දියානු සංගමය, දශක හතකට වැඩි කාලයක් තිස්සේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දායක වී තිබෙනවා. සංස්කෘතික සහභාගීත්වය, සංවාදය සහ තිරසාර අන්තර්ක්‍රියා තුළින්, අපගේ රජයන් අතර පමණක් නොවෙයි අපගේ ජනතාව අතර ද සබඳතාවලට සහාය වීමට මෙම සංගමය කටයුතු කර තිබෙනවා.
පසුගිය වසර තුළ , ඉන්දියා - ශ්‍රි ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ශක්තිමත් බව අපි නැවත වරක් දැක්කා. විශේෂයෙන් දෙව්නිමෝරි ශුද්ධ ධාතූන් වහන්සේලා මෙ රටට වැඩම කරවීමත්, ප්‍රදර්ශනය සඳහා පහසුකම් සැලසීමට ලබා දුන් සහයෝගයට අපි කෘතඥ වෙනවා.
ඒ වගේම දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ විට, සාගර බන්ධු මෙහෙයුම හරහා පළමු ප්‍රතිචාරකයා ලෙස ඉන්දියාව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ අතර, අපගේ ගලවා ගැනීමේ සහ සහන කටයුතුවලට දැක්වූ සහය ඉතා විශිෂ්ඨයි.
ශ්‍රී ලංකාව නැවත නගා සිටු වීමේ කාර්යයේදී ඇමරිකානු ඩොලර් මිලියන 454 ක දිගුකාලීන සහන පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම අපි අගය කරනවා. තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ඉන්දියාව අපි සමග සමීපව කටයුතු කරමින් සිටිනවා.
ශ්‍රී ලංකා-ඉන්දියානු හවුල්කාරිත්වය ආර්ථික සංවර්ධනය, බලශක්තිය, සම්බන්ධතාවය, වෙළඳාම සහ ආයෝජන, ඩිජිටල් පරිවර්තනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂාව සහ ජනතාව අතර සම්බන්ධතාවය ඇතුළු බහුවිධ අංශ හරහා විහිදී තිබෙනවා.
ශ්‍රී ලංකාව තිරසාර වර්ධනයක් කරා යන ගමනේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දියානු ව්‍යාපාරවලින් වැඩි ආයෝජන සහ ඉන්දියාවෙන් වැඩි සංචාරක ප්රවාහයන්ගේ පැමිණිම අපි සාදරයෙන් පිළිගන්නා බවත් මම කියන්න කැමතියි.
ඉන්දියාව සමීපතම අසල්වැසියා සහ වැදගත් හවුල්කරුවෙක් බවත්, ලාංකික ජනතාවගේ සහ කලාපයේ යහපත සඳහා සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රි ලංකාව කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා
දෙරට අතර පවතින සබඳතාව හුදු රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය ශක්තිමත් සහ විශේෂ සබඳතාවක්. ඉන්දියාවෙන් බැහැරව පිරිනමනු ලබන ප්‍රථම ජාත්‍යන්තර උපාධිය ශ්‍රි ලංකාව තුළ හඳුන්වා දීම හරහා අධ්‍යාපන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන්න කටයුතු කළා. ඒ වගේම සන්නිවේදන සම්බන්ධතා (Connectivity) සහ පුද්ගල සබඳතා වැනි ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී තිබෙනවා. ඉන්දු - ලංකා සබඳතාවල ඉහළ වර්ධනයක් වත්මන් කාලය තුළ දක්නට ලැබෙන බව ඉන්දියානු මහකොමසාරිස්තුමා සඳහන් කළේය.
මෙම අවස්ථාවට තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.