Tuesday, July 29, 2025
Follow Us
රෝසිගේ නගරාධිපති පට්ටම ගැලවෙන හැඩ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ කටයුතු සඳහා සහභාගි නොවීම සහ සහයෝගය ලබා නොදීම ඊට හේතුවයි. කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (01 වැනිදා) පැවැති රැස්වීමකදී මේ බව සාකච්ඡා කර තිබේ. නගරාධිපති ධුරය නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ. පක්ෂයේ කටයුතුවලට සහයෝගය ලබා නොදෙන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී දැනුම් දී තිබේ.

නීති අංශය සමග සාකච්ඡා කර අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස කොළඹ දිස්ත්‍රික් කළමනාකාර ලසන්ත ගුණවර්ධනට එහිදී උපදෙස් ලබාදී තිබේ.

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. නගරාධිපති රෝසි සේනානායක මෙම සාකච්ඡාවට සහභාගි වූයේ නැත.

(Lanka Leads)