Tuesday, July 29, 2025
Follow Us
අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න මෛත්‍රී දින තුනක් තිස්සේ 21000 වරක් අත්සන ගහලා

තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පහෙන් හතරක විමර්ශන අවසන් කර එම විමර්ශන පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කටයුතු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කොමිසම පමණක් තවමමත් ක්‍රියාත්මක වන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් කර එහි වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත් කිරීමට කටයුතු කළ බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා. එම වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට අදාල ලිපිගොනුවලට නොකඩවා දින තුනක් තිස්සේ 21,000 වරක් සිය අත්සන ගැසීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දෙනවා. තුන්වන දවස වනවිට එකදිගට පෑන අල්ලාගෙන සිටීම නිසා අතේ දියපට්ට දැමූ බව ද සිරිසේන මහතා පවසනවා.

එසේ තිබියදී තමන් විසින් පත්කළ කොමිෂන් සභා සම්බන්ධයෙන් ජාතික පුවත්පතක තිබූ අසත්‍ය පුවතක් තමා පුදුමයට පත් වූ බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එම පුවතේ සඳහන් සියලු කරුණු අසත්‍ය බවයි.

(LNW)