Tuesday, April 23, 2024
Follow Us
මදුෂ් කට අරී, දේශපාලනයේ - පොලීසියේ ඉහළ පුටු රත්වෙයි !

ඩුබායි බලධාරීන් විසින් මෙරටට පිටුවහල් කරන ලද, සංවිධානාත්මක පාතාල අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් රඳවා ගැනීමේ නියෝග මත මේ වනවිට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ පසු වේ. එම නිළධාරීන් විසින් මේ වනවිට ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.

පසුගිය කාලසීමාව තුළ මෙරට තුළ සිදු වූ, විශේෂයෙන් දකුණු පළාත ‍කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මදුෂ් විසින් අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

එහිදී මදුෂ්ගේ පාතාල කණ්ඩායම විසින් දේශපාලන ප්‍රබලයන් රැසක් මෙන්ම පොලීසියේ ඉහළ පුටුවල සිටින සහ සිටි නිළධාරීන් කිහිප දෙනෙකු සමගම සබඳතා පවත්වා තිබේ. එම පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වනවිටත් රහස් පොලිස් නිළධාරීන් විසින් මදුෂ් හරහා අනාවරණය කරගෙන ඇත.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර ඉන්පසු අදාල දේශපාලනඥයන් සහ ඉහළ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමට නියමිතය.

මෙම පොලිස් නිළධාරීන් අතර, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ද වන බවයි වාර්තා වන්නේ. පසුගියදා හෙලිදරව් වූ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයටද නාලක සිල්වා මහතාගේ සහ මාකඳුරේ මදුෂ්ගේ නම් ගෑවුණු ඒ සම්බන්ධයෙන්ද මදුෂ්ගෙන් ප්‍රශ්න කර තිබේ.

මදුෂ් රහස් පොලිස් භාරයට පත් වූ පසු දේශපාලනයේ සහ පොලීසියේ ඉහළ පුටු රැසක් රත් වූ අතර ඔවුන් මේ වනවිට රහස් පොලිස් නිළධාරීන් හරහා විමසමින් සිටින්නේ තම තමන් පිළිබඳව මදුෂ්ගේ කටින් එළියට පැන්නේ මොනවාද යන්න පිළිබඳවය.

මෙරට පාතාලය හැමවිටම ක්‍රියාත්මක වූයේ දේශපාලකයන්ට අවශ්‍ය පරිදිය. සියලු පාතාල කණ්ඩායම් පිටුපස දේශපාලකයන් සිටි අතර බොහෝවිට සිදු වන්නේ පාතාල කල්ලි සහ එහි නායකයන් හෙලිදරව් වුවද ඔවුන්ට සියලු අනුග්‍රහය සැපයූ දේශපාලකයන් හෙලිදරව් නොවී ආරක්ෂා වීමයි.

(LNW)