Sunday, July 27, 2025
Follow Us
බන්දුලගේ ලණුව කෑ ගම්මන්පිල කණගාටුව පළ කරයි

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිළිගෙන තිබේ. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවය.

ගම්මන්පිල මහත පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අදාල ව්‍යාපෘතිය සඳහා රජයට කිසිදු වියදමක් දැරීමට සිදු නොවන බවය. ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලබාදෙන බවත්, ඒ අනුව මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම කිසිදු ගැටලුවක් හෝ අපරාධයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබුණේ අදාල ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීම තබා එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හෝ එම ආයතනය දැනුවත්ව නොමැති බවයි.

උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් පණිවුඩය හරහා පවසන්නේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ලබාදුන් වැරදි තොරතුරු මත පදනම්ව තමා එම ප්‍රකාශය සිදුකළ බවයි. ඒ අනුව අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් තමා කණගාටුව පළ කරන බව ඔහු පවසා සිටියි.

(Lanka Leads)