Friday, January 16, 2026
Follow Us
ශ්‍රීලනිපය ඡන්ද ප්‍රචාරණ වැඩපිළිවෙල සැළසුම් කරයි

ආරක්ෂිත ක‍්‍රමවේද යටතේ එළඹෙන මහමැතිවරණයට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිදු කළයුතු ආකාරය සහ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ ඊයේ (18) පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, එහි සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වුණේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි.

කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ඉදිරියටත් සහය දැක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී තීරණය කළ බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ඉදිරි මහමැතිවරණයට තරග වදින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ගේ ජයග‍්‍රහණය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කිරීම කෙරෙහි ද එහිදී අවධානය යොමු වූ බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)