Friday, July 25, 2025
Follow Us
මහ මැතිවරණයට අදාළ පෙත්සම් සලකා බැලීම අද

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජූනි 20දා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද (18 වැනිදා) කැඳවා ඇත.

බුවනෙක අළු විහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති. ජාතික සමගි බලවේගය පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම, වික්ටර් අයිවන් ඇතුළු හත්දෙනෙක් රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝතී සරවනමුත්තු, නීතිඥ චරිත් මෛත්‍රී ගුණරත්න පෙත්සම් ගොනු කළ අය වෙති. මේ වන විට පෙත්සම් දහතුනක් ගොනු කර ඇති අතර එම පෙත්සම් විභාගයට මැදිහත් වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ මැතිවරණය පැවැත්වීමට පක්ෂව සහ විරුද්ධව නීතිඥයන් මගින් කරුණු ඉදිරිපත් කිරීමට තවත් කීපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. පෙත්සම් විභාගය හෙට (19 වැනිදා) පැවැත්වේ. රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික, වෙල්ගම යන තිදෙනා ගොනු කළ පෙත්සම් වෙනුවෙන් අධිනීතිඥ සුරේන් ප්‍රනාන්දු කරුණු දක්වනු ඇත. අනිත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතායි. පෙත්සම්වල වගඋත්තරකරුවන් වහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සාමාජිකයන් දෙදෙනා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි බව දැනුම් දී ඇති නිසා මෙම නඩු කටයුත්ත සඳහා ඔවුනට පුද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට සිදුවනු ඇත.

(Aruna)