Friday, July 25, 2025
Follow Us
ලක්ෂ 4 ගණුදෙනුවට මගේ සම්බන්ධයක් නැහැ - හිටපු ඇමති ජෝන්ගෙන් ප්‍රතිචාර

හිටපු සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සම්බන්ධ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුවත් පත් දෙකක පළවූ වාර්තා අසත්‍යයක් බව ඔහු අවධාරණය කරයි.

2019 වසරේදී කැනඩාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට යාමට සංචාරක සංවර්ධන,වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සේවකයන්ට ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාජ ලියකියවිලි සකස් කර රු.ලක්ෂ 20 බැගින් පුද්ගලයන් 4 දෙනෙකුගෙන් රු.ලක්ෂ 80ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සංචාරක සංවර්ධන,වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට රු.ලක්ෂ 4ක් ලබා දී ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව විභාග වූ අවස්ථාවේ කියැවුණි.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ එම නඩුව කැඳවනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු වංචා විමර්ශන ඒකකයට සාක්ෂි දෙමින් පවසා ඇත්තේ කාන්තාවකගෙන් ලැබුණු රු.ලක්ෂ 4ක මුදල ඔහු අමාත්‍යවරයාට ලබා දී ඇති බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් ඉවත් කර වෙනත් නිලධාරීන් පිරිසක් පත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන අතර ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය එම විමර්ශන භාරගෙන තිබේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජෝන් අමරතුංග මහතා ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දක්වමින් කියා සිටියේ එවැනි සිදුවීමකට තමන් කිසිලෙසකින්වත් සම්බන්ධ නොමැති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර තිබෙන බව ඔහු කියා සිටියේය.

තමන්ගේ කිසිදු සම්බන්ධයෙන් නොමැති සිදුවීමකට තමන්ව සම්බන්ධ කර සිය දේශපාලන දිවිය අපවිත්‍ර කිරීමට ඇතැමෙකුට අවශ්‍යතාවක් ඇත්ද යන ප්‍රශ්නය මතුව තිබෙන බවයි අමරතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ.

(LNW)