තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනුකර ඇති රීට් පෙත්සම ලබන ජුනි 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාෂ්, ශිරාන් ගුණරත්න, සොභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවා තිබිණි.
2016 වසරේදී සිදුකළ බැඳුම්කර ගනුදෙනුවේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි. පසුගිය මාර්තු 06 වැනිදා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව අත්හිටුවීමට කටයුතු කරන ලෙසය.
ඒ අනුව මෙම පෙත්සම සලකා බලන තුරු කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම හෝ සැකකරු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කර තිබේ.
(LNW)