Thursday, July 24, 2025
Follow Us
හිටපු මුදල් ඇමති මංගල CID යට කැඳවයි ! අත්අඩංගුවට ගැනීමේ සූදානමක්ද ?

යහපාලන රජයේ මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා වූ මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. අද (14) පස්වරු 02 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි ඔහුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී, පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරුවල රැඳී සිටින පිරිසකට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා උතුරු පළාතේ සිය ගම්බිම් වෙත යාමට ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙසේ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිටින අතර ඊට අදාලව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන්ද අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කළේය.

මෙම අවතැන් වූ පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට තමන්ගෙ ගම් බිම් සඳහා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස 'අවතැන්වූවන්ගේ සංවිධානය' එවකට අගමති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව එම ඉල්ලීම ඉටුකර දෙන ලෙස නැවත පදිංචි කිරීමේ විෂයභාර අමාත්‍යංශයේ ලේකම් වෙත අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක විසින් ලිඛිතව දන්වා තිබිණ.

එම තත්වය යටතේ පුත්තලම දිස්ත්‍රීක්කයේ පදිංචි අවතැන්වූවන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට ඒමට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංගම ඩිපෝවට මුදල් ගෙවීමට හිටපු මුදල් ඇමතිවරයා සිය අනුමැතිය ලබා දී ඇතැයි පැවසේ.

මීට අමතරව වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මංගල සමරවීර හිටපු ඇමතිවරයාගෙන් අද දිනයේ දී කට උත්තර ලබාගැනීමට නියමිත බව පැවසේ.

(LNW)