මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (12) දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඉදිරිපත් වූ අදහස් අනුව ජුනි 20 දාට නියමිත මහ මැතිවරණය තවදුරටත් කල් යන බවට කරුණු අනාවරණය වී ඇත.
මේ නිසා ඊයේ මනාප අංක ලබාගැනීමේ අපේක්ෂාවෙන් පැමිණි පක්ෂ නියෝජිතයන්ට හිස් අතින් යාමට සිදුවිය.
කෙසේ වෙතත් අද (13) දිනයේ මහ මැතිවරණයට තනිව තරග කරන පක්ෂවල ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
සන්ධානගත දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12 වැනිදා) පස්වරු 2.30 ට ආරම්භ වූ අතර එය පැය තුනකට අධික කාලයක් පැවැත් විණ.
මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සහිත ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ නිකුත් කිරීමට නියමිතව තිබුණු නමුත් මනාප අංක නිකුත් කිරීම ඊයේ සිදු නොකෙරිණි.
සාකච්ඡාවට සහභාගි වූ ඇතැමුන් මහ මැතිවරණය පවත්වන ලෙසත් තවත් නියෝජිතයන් පවතින වාතාවරණය මත එය කල් දමන ලෙසත් අදහස් ප්‍රකාශ කළහ.
මනාප අංක ලබාදෙනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව තමන් සාකච්ඡාවට සහභාගි වූ බව පැවැසූ එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මනාප අංක ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටි බවද සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මනාප අංක ලබා නොදෙන ලෙස තමන් කොමිසමෙන් ඉල්ලා සිටි බවද මනාප අංක ලබා ගත් අපේක්ෂකයන් ගමට යාම විශාල ගැටලුවක් බවද ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර කීවේය. මහ මැතිවරණයට අදාළ නඩුවල තීන්දුවෙන් පසු මනාප අංක ලබාදෙන ලෙස තමන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවද හෙතෙම කීවේය.
සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් හා අධිකරණයේ තීරණය අනුව මැතිවරණය පිළිබඳ තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.
පවතින වාතාවරණය මත මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික නොවන බවද පක්ෂ නායකයන් රැසක් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ යැයිද එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශ උපදෙස් මත මැතිවරණ කොමිසම සතු බලතල අනුව ක්‍රියා කළ යුතු බවද තමන් මනාප අංක බලාපොරොත්තුවෙන් නොපැමිණි බවද හෙතෙම කීවේය.
කොරෝනා පැතිරීම කෙරෙහි අවධානය යොමු කර ඡන්ද රාජකාරිවලට සහභාගි වන රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සලකා බලා අපේක්ෂකයන්ට සමාන අයිතිවාසිකම් ලැබෙන ලෙස තීරණයක් ගත යුතු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ස්ථිර තීරණයකට නොපැමිණ මනාප අංක ලබාදීම සුදුසු නැති බවද හෙතෙම කීවේය.
මැතිවරණය පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් සකස් කරන ලද නිර්ණායකයන්ට අදාළ කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති බව රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා කියා සිටියේය.
(Aruna)