Thursday, September 19, 2024
Follow Us
පාස්කු ඉරිදා ප්‍රහාරය සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාකාරී අයි.එස් සටන්කාමීන්ගේ වැඩක් – රුසියානු ආරක්ෂක මණ්ඩලය

සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාකාරි ත්‍රස්ත කණ්ඩායමක් වන අයි.එස් සටන්කාමීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාල ප්‍රහාරය ගෝලීය ජිහාඩ් මතවාදයේ දේශීය ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවයි.

රුසියානු ආරක්ෂක මණ්ඩලයේ 10 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් යූරි කොකොව් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

සිරියාවේදී සහ ඉරාකයේදී අයි.එස් සංවිධානය සමග සම්බන්ධ වී පසුව ශ්‍රී ලංකාවට පැමිණි රැඩිකල් කණ්ඩායමක සාමාජිකයින් අදාල පිපිරීම් ප්‍රායෝගිකව සංවිධානය කර ඇති බව ඔහු පවසයි.

මේ වන විට අදාල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල ප්‍රධාන මධ්‍යස්ථානයන් වන්නේ මැදපෙරදිග, අප්‍රිකාව, දකුණ සහ ගිනිකොණ දිග ආසියාව බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම ත්‍රස්ත තර්ජන යුරෝපා සංගමයට අයත් රටවලට ද අදාල වන අතර නෙදර්ලන්තය, නෝර්වේ ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවල මේ වන විටත් ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් සිදු කර ඇති බව යුරි කොකොව් මහතා ප්‍රකාශ කර ඇත.

ඉදිරියේදී ද යුරෝපයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ත්‍රස්ත සංවිධාන නායකයින් ප්‍රකාශ කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Lanka Leads)