Thursday, September 19, 2024
Follow Us
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති යුද්ධ හමුදාධිපති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් (Peter Dutton) මහතා ඉකුත් අඟහරුවාදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවූ අතර එහිදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන ලදී.

මෙම හමුවේදී, රටේ දැනට පවත්නා ආරක්‍ෂක තත්ත්වය සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ඕස්ට්‍රේලියානු ඇමතිවරයාව දැනුවත් කරන ලදී. එසේම, මෙම හමුවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ඕස්ට්‍රේලියානු සන්නද්ධ හමුදාවන් අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ හැකියාව කෙරෙහි ද අවධානය යොමු විය.

මෙම සුහද හමුව අවසානයේ සුහදත්වය තවදුරටත් වර්ධනය කරගැනිමේ අරමුණින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම හමුව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීනියක් ද සහභාගි වූවාය.

ඕස්ට්‍රේලියානු අමාත්‍යවරයා අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවූ අතර එහිදී, පාස්කු ඉරිදා එල්ල වූ ඛේදජනක ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව පැවසීය.

එදිනම, ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් (Peter Dutton) මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ මල් කළඹක් තබා එම ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූවන් සිහිපත් කරමින් සිය ශෝකය පළ කළේය. එහිදී, එම දේවස්ථානයේ ශාමීරා රොද්‍රිගෝ පියතුමන් හමුවූ හෙතෙම බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ සියලු දෙනාට ඕස්ට්‍රේලියානු රජයේ සහ එරට වැසියන්ගේ ශෝකය පළකර සිටියේය.

(LNC)