Thursday, September 19, 2024
Follow Us
ලංකාව දැන් සුරක්ෂිතයි : ඕස්ට්‍රේලියාවෙන් සහතිකයක් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර හමුවේ පලුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබද ගැටළුව මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, මේ වනවිට දිවයින නැවතත් පෙර තිබූ පරිදි සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පලකළේ, පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේදි පැවති නිල සාකච්ඡාවකදීය.

විදුලිබල අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි, මේ වනවිට ශ්‍රී ලංකාව ආරක්ෂාව අතින් සම්පූර්ණයෙන් සුරක්ෂිතවී ඇති බවත්, එබැවින් පෙර පරිදි සංචාරක කටයුතු මෙන්ම ආයෝජන කටයුතු වෙනුවෙන් දිවයිනට පැමිණීමට බිය නොවන ලෙස ලෝකයේ සෙසු රටවලට විවෘත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබදවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ විදුලිබල අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ විදුලිබල, බලශක්ති ක්ෂේත්‍රයන්හි ආයෝජනයන් කෙරෙහි යොමුවීම කෙරෙහිද සලකා බලන බව පැවසීය. එසේම තම රටේ යොදාගනු ලබන නවීන තාක්ෂණික උපක්‍රම මෙන්ම සංවර්ධන ව්‍යාපෘති දැකබලා ගැනීම පිණිස තම රටට පැමිණෙන ලෙසද ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි, අමාත්‍ය කරුණානායකට ආරාධනාවක්ද කළේය.

ඔන්ඩච්චි මන්ත්‍රීවරයාගේ දෙමව්පියන් ශ්‍රි ලාංකිකයන් වන අතර ඔහු ඉපදී ඇත්තේ ඕස්ට්‍රේලියාවේදීය. සිංහල සම්භවයක් ඇති මෙම ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයා, පාස්කු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබදව ඇතිවූ ගැටළු සහගත තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවට ලෝකයේ සෙසු රටවලට ඔප්පු කර පෙන්වීම පිණිස ශ්‍රී ලංකාවේ සංචාරකයට සහභාගි වීම පිළීබදව අමාත්‍ය කරුණානායක ඔන්ඩච්චි මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළකර සිටියේය.

(News Tube)