Saturday, July 04, 2026
Follow Us
6 වන පාකිස්ථාන - ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදය සාර්ථකව අවසන්
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන සාමූහික කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් 6 වන පාකිස්ථාන - ශ්රී ලංකා ආරක්ෂක සංවාදය ඊයේ (03) ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි නාවික හමුදා මූලස්ථානයේ දී සාර්ථකව නිමාවට පත් විය.
මෙම ආරක්ෂක සංවාදයේ සම-සභාපතිත්වය ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) මහතා සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම්, ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්රාමික) මහතා විසින් දරන ලද අතර, දෙරටේ ආරක්ෂක ක්ෂේත්රය නියෝජනය කරමින් ජ්යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
වාර්ෂිකව පැවැත්වෙන මෙම ද්විපාර්ශ්වික සංවාදය, පවතින ආරක්ෂක සහයෝගීතාව සමාලෝචනය කිරීමට සහ සහයෝගීතාව සඳහා වන නව ක්ෂේත්ර ගවේෂණය කිරීමට වැදගත් අවස්ථාවක් නිර්මාණය කරයි.
 
සාකච්ඡාවේ දී, දෙරටේ නියෝජිත පිරිස ආරක්ෂක සහයෝගීතාව, ද්විපාර්ශ්වික ආරක්ෂක සම්බන්ධතා, පුහුණු හා වෘත්තීය හමුදා අධ්යාපනය, සමුද්රීය ආරක්ෂාව, ත්රස්තවාදයට එරෙහි වීම, ධාරිතා වර්ධනය (capacity building) සහ කලාපීය ආරක්ෂාව ඇතුළු අන්යෝන්ය වශයෙන් වැදගත් වන පුළුල් පරාසයක විහිදුනු කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) මහතා අදහස් දක්වමින්, ශ්රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ වෘත්තීය හැකියාවන් ඉහළ නැංවීම සඳහා පාකිස්ථානය ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගය කළේය.
 
එමෙන්ම, දෙරටේ අන්යෝන්ය යහපත මෙන්ම, කලාපීය සාමය සහ ස්ථාවරත්වය උදෙසා ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට ශ්රී ලංකාව කැපවී සිටින බව ඔහු යළිත් අවධාරණය කළේය.
 
මෙම ආරක්ෂක සංවාදය, පවතින සහයෝගීතාව සමාලෝචනය කිරීමට සහ නව සබඳතා ගොඩනැගීමට ලැබුණු වටිනා අවස්ථාවක් බව ද, හෙතෙම සඳහන් කළේය.
ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිතුමා සහ ලක් රජය වෙනුවෙන් පාකිස්තාන නියෝජිත පිරිස වෙත සිය කෘතඥතාව ද මෙහි දී පිරිනැමීය.
 
ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්රාමික) ද පාකිස්ථාන නියෝජිත පිරිස වෙත දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ශ්රී ලංකා රජයට සිය ස්තුතිය පුද කළ අතර, මෙම මිත්ර රටවල් දෙක අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පාකිස්ථානය කැපවී සිටින බව ප්රකාශ කළේය.
 
මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් Nayyar Naseer (විශ්රාමික), අතිරේක ලේකම් (ආරක්ෂක), ශ්රී ලංකා නාවික හා ගුවන් හමුදාපතිවරුන්, යුද හමුදා මාණ්ඩලික ප්රධානී, ආරක්ෂක අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ ත්රිවිධ හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.