වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා හා ශ්රී ලංකාවේ ප්රංශ තානාපති රෙමි ලැම්බර්ට් (Mr. Remi Lambert) මහතා ප්රමුඛ ප්රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා ශ්රී ලංකාවේ ප්රංශ තානාපති රෙමි ලැම්බර්ට් (Mr. Remi Lambert) මහතා ප්රමුඛ ප්රංශ ආයෝජකයින් කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව පැවැත්වූයේ අමාත්යාංශ පරිශ්රයේදීය.
ආයෝජක නියෝජිතයින්ගේ මූලිකත්වය දැරුවේ ලෝකයේ තුන්වන විශාලතම නාවික ප්රවාහන සමාගම වන CMA CGM ආයතනයේ, ප්රධාන නියෝජ්ය සභාපතිනි ක්රිස්ටීන් කැබෝ මහත්මියයි.
ඇය ප්රංශයේ නාවික ප්රවාහන සහ වරාය කළමනාකරණ විශේෂඥවරියකි.
මෙම සාකච්ඡාවේ ප්රධාන අරමුණ වූයේ ප්රංශය සමඟ සමුද්රීය සම්බන්ධතා වර්ධනය කරගැනීම සහ ප්රංශ ආයෝජකයින් ශ්රී ලංකාව වෙත කැඳවා ගැනීමයි.
ප්රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා අතිගරු ජනාධිපතිතුමා, ප්රංශ ආයෝජකයින් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව සඳහන් කළ අතර, ජූලි මස 16 දාට නියමිත අතිගරු ජනාධිපතිතුමාගේ ප්රංශයේ නිල සංචාරයේදී CMA CGM සමාගමේ සභාපති සහ විධායක නිලධාරීන් රොඩොල්ෆ් සාඩේ (Mr. Rodolphe Saade)මහතා හමුවීමට නියමිත බව ද ප්රකාශ කළේය.
ක්රිස්ටීන් කැබෝ මහත්මිය තම සමාගම ලෝකයේ ප්රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්යාවක හිමිකාරිත්වය දරන ලෝකයේ ප්රමුඛ පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් බව ප්රකාශ කළාය. එමෙන්ම හවුල් ව්යාපාර ආයෝජනයකට සම්බන්ධ වෙමින් බහාලුම් ප්රවාහන පරිමාව වැඩි කර ගැනීමටත් කොළඹ වරාය පිහිටීම අනුව ඇති ප්රධාන වාසියක් වන බහාලුම් ප්රතිඅපනයන ක්රියාවලිය ඉහළ නංවාගැනීමටත් ඇති පසුබිම ගැන දීර්ඝව කරුණු පැහැදිලි කළාය.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවන අදියර ව්යාපෘතිය ගැන ද තම සමාගම අධ්යයනය කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය. මේ වන විට නැගෙනහිර පර්යන්තයට පැමිණෙන බහාලුම් 50% කටත් වඩා වැඩි ප්රමාණයක් CMA CGM සමාගම සතු බවත්, එම ධාරිතාව වැඩි කිරීමට ද හැකි බව ක්රිස්ටිනා මහත්මිය සඳහන් කළාය. තම සමාගම සතු ගුවන් භාණ්ඩ ප්රවාහන අංශයක් ද තිබෙන නිසා එම ක්ෂේත්රය සංවර්ධනය කිරීමට ද සහාය වීමට කැමැත්ත පළ කළාය.
කොළඹ වාරයේ උපායමාර්ගික වැදගත්කම හඳුනාගෙන තිබීම පිළිබඳව විෂයභාර අමාත්යවරයා ආයෝජන කණ්ඩායමට සිය ස්තූතිය පළ කළේය.
රජයේ ඉලක්කය කොළඹ වරාය ඉන්දියානු සාගරයේ ලෝක මට්ටමේ ප්රධාන මධ්යස්ථානයක් බවට පත් කිරීම බවත්, ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
මේ සඳහා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු, ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක යන මහත්වරුන්ද සහභාගී වූහ.