ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවස්ථාවන්, නව සබඳතා සමඟ ඇගයීම්
ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී පසුගිය 16වන දින ආරම්භ වී පුරා දින 7ක් පැවති ලෝක සෞඛ්ය සංවිධානය සංවිධානය කළ 79 වන ලෝක සෞඛ්ය සමුළු ලොව සෞඛ්ය සේවාවේ උන්නතියට ශක්තිමත්, ගුණාත්මක සහ නව්ය මඟ පෙන්වීම් රැසක් ලබා දෙමින් පසුගියදා ( 22) සාර්ථකව නිමාවට පත්විය. “One world for Health” යන තේමාව මුලික කරගනිමින් පැවති මෙම ලෝක සෞඛ්ය සමුළුව තුළින් ශ්රී ලංකාවට ද සෞඛ්ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවස්ථාවන්, නව සබඳතා සමඟ ඇගයීම් රැසක් හිමිවිය.
79 වන ලෝක සෞඛ්ය සමුළුව රටවල් 194 ක සෞඛ්ය අමාත්යවරුන්, රාජ්ය තාන්ත්රික නිලධාරීන්, විවිධ සංවිධාන වල නියෝජිතයින්, නිරීක්ෂකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මැයි 19 වන දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සමුළුව අමතනු ලැබීය.
79 වන ලෝක සෞඛ්ය සමුළුවේ දී ලෝක සෞඛ්ය සංවිධානය විසින් හඳුන්වා දෙන ප්රමිතීන්ට අනුකූලව සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව මහජන සෞඛ්ය ගැටළුවක් වූ මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්රේෂණය වීම මහජන සෞඛ්ය ප්රශ්නයක් නොවන මට්ටමට අවම කරමින් එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් මෙරට සෞඛ්ය ක්ෂේත්රය අත්කරගත්තා වු ප්රගතිය අගය කරමින් ලෝක සෞඛ්ය සංවිධානය මෙරටට ඇගයීම් සහතික පත්රයක් ප්රදානය කරනු ලැබීය. එය මෙරට සෞඛ්ය ක්ෂේත්රය ලද විශාල ජයග්රහණයකි.
ලෝක සෞඛ්ය සමුළුට සමඟාමීව පොදු රාජ්ය මණ්ඩලීය රටවල සෞඛ්ය අමාත්යවරුන් සහ සෞඛ්ය ක්ෂේත්රයේ ඡේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පොදුරාජ්ය මණ්ඩලීය රටවල සෞඛ්ය සම්බන්ධීකරණ සමුළුව (Common Wealth Health Coordination Forum) මෙන්ම ළමා පිළිකා මර්දනය "Childhood Cancer Survivorship" සඳහා වන ලෝක සෞඛ්ය සංවිධානයේ ගෝලීය මුලපිරීම (WHO Global Initiative for Childhood Cancer - WHO GICC) විසින් සංවිධානය කරන ලද විශේෂ සැසියක් ද පැවැත්විණි.
මීට අමතරව ශ්රී ලංකා දුත පිරිස විශේෂ පැතිකඩ සැසි වාර රැසකට සහභාගී වුහ. එම සැසි වාර අතර මානසික සෞඛ්ය ප්රවර්ධනය සහ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ උපායමාර්ග පිළිබඳ අතුරු සම්මුති සැසිය, ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රයේ ප්රගතිය උදෙසා තිරසාර සෞඛ්ය ආයෝජන (Health investment) ආකර්ෂණය කරගැනීමේ අතුරු සම්මුති සැසිය, කෘමිනාශක භාවිතයෙන් සිදුවන සියදිවි නසාගැනීම් වැළැක්වීම (Pesticide suicide prevention) සඳහා ශ්රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය සහ අත්දැකීම් බෙදාගැනීමේ අතුරු සම්මුති සැසිය, සෞඛ්ය ක්ෂේත්රයේ ප්රගතිය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් කෘත්රිම බුද්ධිය (AI health) භාවිත කිරීම පිළිබඳ අතුරු සම්මුති සැසිය ඇතුළු සැසි කිහිපයක් වේ.
මෙම සමුළුවට සමඟාමීව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා ප්රමුඛ මෙරට නියෝජිත පිරිස භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්ය අමාත්යවරු සහ ජපානයේ නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණනාවක නියෝජිතයින් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද කටයුතු කරනු ලැබීය.
මෙම සංචාරයේ දි ලබාගත් දැනුම, අත්දැකිම් සහ සහයෝගීතාවයන් මෙරට සෞඛ්ය සේවාවේ උන්තනතිය, ශක්තිමත් සහ ගුණාත්මක ඉහළ නැංවීම සඳහා බෙහෙවින් හේතුසාධක වනු ඇතැයි මෙම නිල සංචාරයට එක් වු දුත පිරිසේ අදහස වේ.
මෙම නිල සංචාරය සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන වෛද්ය එස්.ශ්රීධරන්, වෛද්ය සමිද්ධි සමරකෝන්, අධ්යක්ෂ සැලසුම් වෛද්ය ජානකී විදාන පතිරණ, අධ්යක්ෂ වෛද්ය සේවා වෛද්ය අයන්ති කරුණාරත්න යන මහත්ම මහත්මීන් ද සහභාගී වුහ.