ශ්රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපති පැට්රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) ඊයේ (06) ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ දී කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා හමුවිය.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
මෙම හමුවේ දී දෙපාර්ශ්වයම ශ්රී ලංකාව සහ කියුබාව අතර වසර 65 කට අධික ශක්තිමත් සහ මිත්රශීලී ද්විපාර්ශ්වික සබඳතා නැවත තහවුරු කළහ.
කථානායකවරයා තානාපතිවරියගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් දෙරට අතර කල් පවතින මිත්රත්වය සිහිපත් කළේය.
එසේම චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්රෝ ඇතුළු කීර්තිමත් කියුබානු නායකයින්ගේ භූමිකාව ද කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.
බහුපාර්ශ්වික ජාත්යන්තර සැසිවාරයන්හී දි, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවල දී, කියුබාව ශ්රී ලංකාව සඳහා දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.
කියුබාවේ පවතින දියුණු වෛද්ය ක්ෂේත්රය කථානායකවරයා ඇගයීමට ලක් කළ අතර තමා වෛද්ය ශිෂ්යයෙකු ලෙස සිටි කාලය තුළ සුවිශේෂී කැපවීමකින් හා මානුෂීය ගුණාංගයන්ගෙන් යුතුව ශ්රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්යවරුන් පිළිබඳව ඔහුගේ මතකය ගෞරවයෙන් සිහිපත් කළේය.
ශ්රී ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා සහාය වීම පිළිබඳව කියුබානු රජයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන් කියුබානු දියුණු වෛද්ය තාක්ෂණික සහය තුළින් ශ්රී ලංකාවේ සෞඛ්ය සේවා අංශය සංවර්ධනය කිරීමේදී අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පැවසීය.
පාර්ලිමේන්තු රාජ්ය තාන්ත්රිකත්වයේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව කථානායකවරයා පෙන්වා දුන්නේය.
මෙහි දී අදහස් දක්වමින් තානාපතිනිය වන පෙගෝ ගුවේරා මහත්මිය කියුබාවේ කල් පවතින මිත්රත්වය සහ ශ්රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කළේය.
ශ්රී ලංකා රජයේ කළමනාකරණ හැකියාව, විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථාවත් කිරීම සඳහා රජය කඩිනම් පියවර ගැනීම පිළිබඳ ඇය ප්රශංසා කළාය.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සමඟ කියුබාවට පැමිණෙන ලෙස ද තානාපතිවරිය කථානායකවරයාට ආරාධනා කළාය.
කියුබානු ශිෂ්යත්ව වැඩසටහන් හරහා අධ්යාපනය, ක්රීඩා අංශයේ සංවර්ධනය සහ අන්යෝන්ය ප්රතිලාභ සඳහා වැවිලි කර්මාන්තයේ සහයෝගීතාවය වැනි ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ද සාකච්ඡාවේ දී අවදානය යොමු විය.
මෙම හමුවෙන් අනතුරුව, තානාපතිවරිය ශ්රී ලංකා - කියුබා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සාමාජිකයින් පිරිසක් ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.