අග්රාමාත්ය කාර්යාලයේදී කියුබානු ජනරජයේ තානාපති Patricia Lazara Pego Guerra මහත්මිය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (26) හමුවිය.
මෙම හමුවේ දී, දෙපාර්ශ්වය විසින් ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම අවධාරණය කරමින් ශ්රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්රත්වය නැවත තහවුරු කළහ.
දෙරටේ මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් සහ කුසලතා සංවර්ධන මුලපිරීම් ක්රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළුව අධ්යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළහ.
තිරසාර කෘෂිකාර්මික භාවිතයන් දියුණු කිරීම සඳහා දැනුම සහ තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මික අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර ක්රීඩා ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඉස්මතු කරන ලදී.
මෙම අවස්ථාවට අග්රාමාත්ය ලේකම්, අග්රාමාත්ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්යාංශයේ ලතින් ඇමරිකානු සහ කැරිබියන් අංශයේ අධ්යක්ෂ ජනරාල් රත්නසිංහම් කොහුලරංගන් මහතා සහභාගී විය.