Monday, March 23, 2026
Follow Us
ශ්‍රී ලංකා - ජපාන දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි

ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ජපාන ආර‍ක්‍ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි මහතා අතර විශේෂ හමුවක් පසුගියදා ( 18) ටෝකියෝ නුවර පිහිටි එරට ආර‍ක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ජපානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවැති මෙම හමුව ඔස්සේ, සමුද්‍රීය ආරක්‍ෂාව, ආපදා කළමනාකරණ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය.

සාකච්ඡා අතරතුරදී ජපාන ආර‍ක්‍ෂක අමාත්‍යවරයා අදහස් දක්වමින්, විශේෂයෙන්ම "නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්" දැක්ම යටතේ, ඉන්දු-පැසිෆික් කලාපය තුළ ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින්, ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාව සතු වැදගත් භූගෝලීය පිහිටීම සහ කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සුරැකීමේදී එහි ඇති වැදගත් කාර්යභාරය පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර නීති, සම්මුතීන් සහ රාජ්‍යතාන්ත්‍රිකභාවයට අනුකූලව කලාපීය සාමය සහ ස්ථාවරත්වයට දායක වන ක්ෂේත්‍රයන්හි ජපානය සමඟ ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සතු දැඩි කැපවීම පිළිබඳ එහිදී ඔහු යළිත් තහවුරු කළේය.

මැදපෙරදිග පවතින තත්ත්වය ඇතුළු ප්‍රධාන කලාපීය සහ ගෝලීය ප්‍රවණතාවන් පිළිබඳව ද දෙපාර්ශවය විසින් අදහස් හුවමාරු කරගත් අතර, ද්විපාර්ශ්වික ආර‍ක්‍ෂක සබඳතාවල ස්ථාවර ප්‍රගතිය පිළිබඳව ප්‍රසාදය පළ කළහ. ශ්‍රී ලංකාවේ දැඩි මධ්‍යස්ථ සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නෛතික සම්මුතීන් සඳහා වන කැපවීම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, මෑතකදී ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ (JMSDF) 'JS Onami' නෞකාව කොළඹ වරායට පැමිණීම සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සාර්ථකව පවත්වන ලද නාවික අභ්‍යාසය පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

තවද, ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් කඩිනමින් සාකච්ඡා ඉදිරියට ගෙනයෑම සඳහා දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණියහ. සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ඒකාබද්ධ අභ්‍යාස, නෞකා සංචාර සහ නාවික වැඩසටහන් සඳහා නිරීක්‍ෂක සහභාගීත්වය මගින් මුහුදු සීමා ආර‍ක්‍ෂණ සහයෝගීතාව පුළුල් කිරීම ඇතුළත් වේ.

විශේෂයෙන්ම මානුෂීය ආධාර සහ ආපදා සහන සම්බන්ධයෙන් වන ධාරිතා වර්ධන මුලපිරීම් ශක්තිමත් කිරීමට මෙහිදී කටයුතු කෙරෙනු ඇත. ශ්‍රී ලංකා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් හට ජපානයේ ජාතික ආරක්‍ෂක ඇකඩමියේ පුහුණු අවස්ථා ලබාදීම හරහා එරට ආරක්‍ෂක අංශ සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් පුද්ගල හුවමාරු කටයුතු ප්‍රවර්ධනය කිරීමද මෙයට ඇතුළත් වේ.

මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර, ජපාන රජය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ විශේෂයෙන් 'දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෑතකදී ඇති වූ හදිසි ආපදා අවස්ථාවේ ලබාදුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළේය. එපමණක් නොව මින් පෙර ඇති වූ ආපදා අවස්ථාවන්හිදී ද ජපානය ලබා දුන් මානුෂීය ආධාර මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සහ ධාරිතාවන් ඉහළ නැංවීම සඳහා දක්වන ලද අඛණ්ඩ දායකත්වය පිළිබඳවද ඔහු සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා වෙරළාර‍ක්‍ෂක බලකායට අවශ්‍ය නිර‍ක්‍ෂණ නෞකා ලබාදීම, ධාරිතා වර්ධන සහයෝගීතාව සහ කාලගුණ විද්‍යා අනාවැකි පුරෝකථනය සඳහා රුපියල් බිලියන ගණනක් වටිනා ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට ලබා දුන් උසස් තාක්‍ෂණික සහාය ඇතුළුව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ තාක්‍ෂණික හැකියාවන් ඉහළ නැංවීම සඳහා ජපානය ඉටු කළ සුවිශේෂී මෙහෙවර සම්බන්ධයෙන් ද ඔහු එහිදී කරුණු පෙන්වා දුන්නේය. ජපානයේ අඛණ්ඩ කැපවීම අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කාලගුණ අනාවැකි දත්ත ලබාදීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් තාක්‍ෂණික ධාරිතා වර්ධන සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ජපාන නියෝජිතයින්ගෙන් ඔහු ඉල්ලීමක් ද සිදු කළේය.