ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (House Democracy Partnership / HDP) එක්ව සංවිධානය කිරීමට යෝජිත පුහුණු වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අතර 2026. 03.17 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ව්‍යවස්ථාදායක කාර්යයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් යෝජිත පුහුණු වැඩසටහන් මාලාවක් පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ මග පෙන්වීම සහ අනුමැතිය ලබා ගැනීම මෙම රැස්වීමේ අරමුණ විය. 2025 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ (House Democracy Partnership / HDP) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබිණි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී ව්‍යවස්ථාදායක අධීක්ෂණ කටයුතු සහ රාජ්‍ය මූල්‍ය වැනි ක්ෂේත්‍රවල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් තුළ විශාල උනන්දුවක් පැවති බවත් මෙහිදී සාකච්ඡා විය.
ඒ අනුව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා පුහුණු වැඩසටහන් සහ විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබන සංවාද සදහා අනුග්‍රහය දැක්වීමට කැමැත්ත පළ කර ඇත. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනපද දේශපාලන ආර්ථික උපදේශක ඇන්තනි පර්නොට් මහතා (Anthony Pirnot) පැවසුවේ, අයවැය සහ මූල්‍ය අධීක්ෂණයට අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සමඟ එක්ව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ එක්සත් ජනපද විශේෂඥයින් විසින් පවත්වනු ලබන වැඩමුළු සංවිධානය කිරීමේ හැකියාව ඇති බවයි. එසේම ශ්‍රී ලංකා - එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා පහසුකම් සලසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුළුල් සහභාගීත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔවුහු සඳහන් කළහ.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (House Democracy Partnership / HDP) සහ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව කථානායකතුමා සිය කෘතඥතාව පළ කළේය. එසේම යෝජිත වැඩසටහන් සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදුකරමින් සිය සහයෝගය හිමිවන බව ද ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රගතිශීලී පියවර පිළිබඳ සඳහන් කරමින් කථානායකවරයා පෙන්වා දුන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් ලබා දෙන නිර්දේශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට හැකි වන පරිදි ස්ථාවර නියෝග සඳහා සංශෝධන හඳුන්වා දුන් බවයි.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ දැනුම සහ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය. එක්සත් ජනපද තානාපති කාර්යාල නියෝජිත පිරිසට දේශපාලන ආර්ථික උපදේශක ඇන්තනි පර්නොට්, දේශපාලන නිලධාරී ඇඩම් මිචෙලෝ සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් යන මහත්ම මහත්මීහු ඇතුළත්ව සිටියහ.