2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය යටතේ කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති ඉන්දියාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක තරඟය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට පාකිස්ථාන රජය තීරණය කර තිබේ.
පැන නැගී තිබූ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් හමුවේ මෙම තරඟයට සහභාගී වීම පිළිබඳව පාකිස්ථානය මීට පෙර දෙගිඩියාවකින් පසු වුවද, ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා අතර පැවති විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
මෙම දුරකථන සංවාදයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය සහ ශ්රී ලංකාව සැමවිටම දුෂ්කර අවස්ථාවලදී එකිනෙකාට සහයෝගය දක්වා ඇති බවයි.
විශේෂයෙන්ම 1996 ලෝක කුසලාන සමයේදී ආරක්ෂක හේතූන් මත ඇතැම් රටවල් මෙරටට පැමිණීම ප්රතික්ෂේප කළ අවස්ථාවේදී ඉන්දියාව සහ පාකිස්ථානය ශ්රී ලංකාවට ලබාදුන් සහයෝගය ජනාධිපති අනුර කුමාර දිස්සානයක මහතා මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කරයි.
ක්රිකට් ක්රීඩාවට ආදරය කරන ලෝකවාසී ජනතාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව පවසන පාකිස්ථාන අගමැතිවරයා, තම කණ්ඩායමට සුභාශිංසන ද එක් කර තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් පාකිස්ථාන අගමැතිවරයාට සහ අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයට සිය ස්තූතිය පිරිනමා ඇත.