ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහය ලබා දීමට ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Remi Lambert මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, වසර ගණනක් තිස්සේ දෙරට අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ක්ෂේත්‍ර රැසකින් සිය සහය ලබා දීමට ප්‍රංශ රජය සූදානම් බවයි. Remi Lambert මහතා මේ බව සඳහන් කළේ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමග අද (11) පැවැති හමුවක දී ය.
සංවර්ධනය සඳහා වූ ප්‍රංශ ඒජන්සිය (AFD) මගින් වසර 20ක පමණ කාලයක් තිස්සේ මෙරට සිදු කරන ලද ක්‍රියාකාරකම් 2022 වසරේ දී තාවකාලිකව අත්හිටවූ අතර, එම කටයුතු ද නැවත ආරම්භ කිරීමට සූදානම් බව එම ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා Amélie July මහත්මිය අවධාරණය කළා ය. මීට අමතරව, ශ්‍රී ලංකාව යළි ශක්තිමත්ව නගාසිටුවීම සඳහා ප්‍රංශ සංචාරයකයන් ශ්‍රී ලංකාව වෙත පැමිණීම ප්‍රවර්ධනය කිරීමට සෘජුවම දායකත්වය සපයන බව තානාපතිවරයා කියා සිටි අතර, ආපදාවට ලක් වූ ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා එරට නම් දැරූ ඉදිකිරීම් සමාගම් සම්බන්ධ කර දීමේ හැකියාව ද මෙහි දී සාකච්ඡා විය.
මෙහිදී, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ, මීට පෙර පැවැති පාලනයන් මෙන් නොව වත්මන් පාලනය තුළ එක් එක් අමාත්‍යාංශ සහ අමාත්‍යවරුන් එකම න්‍යාය පත්‍රයක් යටතේ අදාල අමාත්‍යාංශ හරහා විධිමත් වැඩපිළිවෙළක් පමණක් ක්‍රියාත්මක කරන බවයි. මීට පෙර ශ්‍රී ලංකාව අපදාවන්ට ලක් වූ අවස්ථාවන් වලදී ලැබුණ ආධාර සංවර්ධන කටයුතු සඳහා යොදා ගත් ආකාරය පිළිබඳ විවිධ චෝදනා තිබුණ ද මෙවර එය ක්‍රියාත්මක වන්නේ ඉතා විධිමත් යන්ත්‍රණයක් යටතේ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.