Friday, November 28, 2025
Follow Us
ජනතාවට හදිසි ආපදා සහන ලබා දීම සහ රට යථාතත්වයට පත්කර ගැනීම පිලිබඳ අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කරයි

පීඩාවට පත් විදේශීය සංචාරකයින් පිළිබඳ විමසීම් සඳහා, ශ්‍රී ලංකා සංචාරක ක්ෂණික ඇමතුම් අංකයක්

මේ වනවිට රට පත්ව ඇති හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන්ට සහන සැලසීම සහ රට යථාතත්වය පත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 28) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

අපදා තත්වය හමුවේ ​රජය විසින් අඛණ්ඩව සිදු කරනු ලබන හදිසි සහන මෙහෙයුම් සහ විපතට පත් ප්‍රදේශ යථාතත්වයට පත්කර ගැනීම සහ ජනතාව බේරාගැනීම සඳහා වන ඉදිරි පියවර පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීමට අග්‍රාමාත්‍යතුමිය කටයුතු කළාය.


​ ගංවතුර සහ පවතින ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය ගනිමින් සිටින ක්ෂණික ක්‍රියාමාර්ග පිලිබඳවත් , යළි තථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණ.

​මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජයට විදෙස් රටවල සහයෝගීතාවය පලකරන බවට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළේය. එසේම , මානුෂීය ආධාර, පහසුකම් සහ අඛණ්ඩව සහන ලබා දීමේදී සහ යථාතත්වයට පත්වීම වෙනුවෙන් විදෙස් සහාය ලබා දීමේදී ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවද විදෙස් නියෝජිතයින් පැවසීය.

ජනතාවට ​සහන ලබා දීමේදී සහ රට යථාතත්වයට පත්කිරීමේ කටයුතු සඳහා සහාය වීමට මෙන්ම ඒවායේ සම්බන්ධීකරණ කටයුතු සහ සන්නිවේදනය ශක්තිමත් කිරීම සඳහා, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇති අතර මෙම ඒකකය විදේශයන්හි සිටින ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සමීපව කටයුතු කිරීමට නියමිතයි.

වත්මන් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් විදේශීය සංචාරකයින් පිළිබඳ විමසීම් සඳහා, ශ්‍රී ලංකා සංචාරක ක්ෂණික ඇමතුම් අංකය (1912) අමතන්න. 070 788 7778 අංකය ඔස්සේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මහජන සන්නිවේදන සහ ජාත්‍යන්තර ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා ඇමතීමෙන්ද අවශ්‍ය සහාය ලබා ගත හැකිය.

මෙම හමුවට රජයේ නියෝජිත පිරිසක්ද, විදේශයන්හි සිටින ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියහ.