Tuesday, October 21, 2025
Follow Us
ඇමසන් යථා තත්ත්වයට

ඇමසන් වෙබ් සේවාවන්හි සිදුවූ විශාල දෝෂයක් හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය වෙබ් අඩවි සහ යෙදුම් ඊයේ (20) ක්‍රියා විරහිත වු අතර මෙම දෝෂය නිසා ලොව පුරා මිලියන ගණනක් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වූ බව, විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

ඇමසන් සමාගම අද දින නිවේදනය කළේ, බොහෝ සේවාවන් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන බවත්, දෝෂයට ලක්වූ ඉතිරි සේවාවක් සඳහා ඉක්මනින් යථා තත්වයට පත්කිරීමේ තාක්ෂණික කටයුතු සිදුකරමින් තිබෙන බවත්ය.

ස්නැප්චැට්, සූම්, රෙඩිට්, ප්‍රයිම් වීඩියෝ ඇතුළු ලොව පුරා දහස් ගණනක් වෙබ් අඩවි සහ යෙදුම් ඇමසන් වෙබ් සේවාවන්හි සිදුවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වූ අතර, ලොයිඩ් සහ හලිපැක්ස් වැනි බැංකු සේවාද බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා මිලියන ගණනක් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වූ අතර, ඇමසන් ආශ්‍රිත පාරිභෝගික පැමිණි ලක්ෂ 6කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ.

තොරතුරු තාක්ෂණ විශේෂඥයන් සඳහන් කරන්නේ, ලොව පුරා බොහෝ වෙබ් සේවා – විශාල සමාගම් කිහිපයක් මත රඳා පවතින නිසා කුඩා දෝෂයක් මතුවුණ විට ලොව පුරා බලපෑමක් ඇති කළ හැකි බවයි.

විශේෂඥයන්ට අනුව ලොව පුරා වෙබ් සේවා Amazon, Microsoft සහ Google වැනි සමාගම් මත රඳා පවතින බැවින්, මෙම පද්ධති බිදවැටීම මගින් සයිබර් ආරක්ෂාවට අවදානමක් එල්ල කරන බවයි.

ඇමසන් සමාගම සඳහන් කරන්නේ දෝෂයට ලක්වූ ඉතිරි වෙබ් සේවාවන් නැවත යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.