Thursday, October 16, 2025
Follow Us
අග්‍රාමාත්‍යවරිය සිය පළමු ඉන්දීය නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත් ව යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු  සිය පළමු  ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ඔක්තෝබර් 15 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය.

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද්විපාර්ශ්වික සාකච්ඡා  පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව  සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍යවරිය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.  මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් එක තැනකට එක් වී ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දිල්ලියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වීමට නියමිත ය.

දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය, මෙම සංචාරය අතරතුර ඇය ඉගෙනුම ලැබූ  හින්දු විද්‍යාලය, දිල්ලි නැරඹීමට ද එක් වනු ඇත.  එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

මෙම සංචාරය ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කරන අතර දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමෘද්ධිය උදෙසා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම තහවුරු කරයි.