ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ (78th Session of WHO Regional Committee for South-East Asia) තෙවන සහ අවසන් දිනයේ කටයුතු මේ වන විට සාර්ථකව පැවැත්වේ.
සෞඛ්ය සම්පන්න වයස්ගත වීම සහ දුම්රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම ප්රමුඛ අරමුණ කර ගනිමින් ආරම්භ වු මෙම සමුළුවේ දී අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්ර ජීවී ප්රතිරෝධයට එරෙහි ක්රියාමාර්ග වේගවත් කිරීම, ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්ය න්යාය පත්රය සකස් කිරීම, ප්රමුඛ සෞඛ්ය ගැටළු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීම සහ පෙර වසරවල යෝජනාවල ප්රගතිය සමාලෝචනය කිරීම, දුම් රහිත දුම්කොළ, ඉලෙක්ට්රොනික සිගරට්, නිකොටින් බෑග් සහ පුවක් භාවිතයට එරෙහිව සටන් කිරීමේ උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම, සෞඛ්ය හදිසි අරමුදලේ (SEARHEF) සංචිතය පුළුල් කිරීම, කලාපීය ප්රතිපත්ති ක්රියාමාර්ග ගෝලීය කැපවීම් සමඟ පෙළගස්වා ක්ෂුද්ර ජීවී ප්රතිරෝධයට එරෙහිව ක්රියාමාර්ග වේගවත් කිරීම ආදි කරුණු පිළිබඳව මෙම තෙදින කලාපීය සැසියේ දී ඉතා පුළුල්ව සාකච්ජාවට ගැනුණි.
මෙම සමුළුව සඳහා ශ්රී ලංකාව සත්කාරකත්වය දරන අතර සමුළුව සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්රෙයිසස්, ලෝක සෞඛ්ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්ය කැතරිනා බොහ්මේ ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්ය අමාත්යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් එම රටවල තානාපතිවරු ද අනෙකුත් ලෝක සෞඛ්ය සංවිධානයේ විශේෂඥයින් රැසක් සහභාගී වී සිටී.
දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ සභාපති, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ කලාපයේ සෞඛ්ය අමාත්යවරුන්, ඇතුළු විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් සමුළුවේ අවසන් දිනය වන අද (14) උදෑසන විශේෂ යෝග වැඩසටහනකින් ආරම්භ විය.
දිනයේ ප්රධානතම සැසිය ලෙස පසුගිය ප්රාදේශීය කමිටුවේ සැසිවාරයන් විසින් සම්මත කරන ලද තෝරාගත් යෝජනා නවයක් සහ තීරණ පිළිබඳ “තෝරාගත් ප්රාදේශීය කමිටු යෝජනා පිළිබඳ ප්රගති වාර්තා” ඉදිරිපත් කිරීම පෙරවරුවේ සිදූ වන අතර එමෙන්ම එම ප්රගති වාර්තා පිළිබඳව කලාපයේ සෞඛ්ය අමාත්යවරුන් අදහස් දැක්වීම ද සිදු වේ.
එමෙන්ම ආසියානු කලාපයේ හෘද වාහිනී රෝග වැළැක්වීම සහ පාලනය වේගවත් කිරීම පිළිබඳවත්, නොසලකා හරින ලද රෝග සඳහා ඖෂධ මුලපිරීම (Drugs for Neglected Diseases Initiative), ඒකාබද්ධ ප්රකාශයන් ඉදිරිපත් කිරිම ද සිදු කරන ලදී.
අග්නිදිග ආසියානු කලාපයේ හෘද වාහිනී රෝග වැළැක්වීම සහ පාලනය කිරීම වේගවත් කිරීම මෙන්ම අග්නිදිග ආසියාවේ වෛද්ය නිෂ්පාදන සන්ධිස්ථාන ප්රතිවාර්තා ඉදිරිපත් කිරීම සහ ලෝක සෞඛ්ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන නිලධාරී වෛද්ය කැතරිනා බොහ්මේ ප්රකාශන දෙකක් මෙහි දී එළිදැක්වීමට ද නියමිත ය.
මීට අමතරව “වැඩසටහන් අයවැය (2024–2025) ක්රියාත්මක කිරීම සහ මධ්ය කාලීන සමාලෝචනය”, අනුමත වැඩසටහන් අයවැය (2026–2027) පිළිබඳ දළ විශ්ලේෂණයක්, දකුණු ආසියානු කලාපීය මෙහෙයුම් සැලසුම් ක්රියාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීම සහ එය ක්රියාත්මක කිරීම සඳහා ඉදිරි මාවත ඉදිරිපත් කරන ක්රියාකාරී පත්රිකාව කෙරෙහි කමිටුවේ අවධානය යොමු කිරීම ද අද දින සිදු වූ අතර, මෙම සමුළුවට සහභාගී වූ සෞඛ්ය අමාත්යවරුන් ඇතුළු විශේෂඥයින් තම රටවල ක්රියාත්මක සෞඛ්ය සේවාවන් පිළිබඳව අත්දැකීම් ද මෙහි දී බෙදාගන්නා ලදී.