Friday, September 05, 2025
Follow Us
වසර 37කට පසු උතුරු ඉන්දියාවට දරුණු ගංවතුරක්

– 37ක් මරුට
– ගම්මාන 1655ක් ජලයෙන් යට වෙයි

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ ජල ගැලීම්වලින් පුද්ගලයන් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ප්‍රාන්ත රජය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පන්ජාබ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගුලාබ් චාන්ද් ජලගැලීම්වලින් සිදුවූ හානිය පිළිබඳ වාර්තාව කෘෂිකර්ම සහ ගොවීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ ඇමැති ශිව්රාජ් සිං වෙත භාර දෙමින් එම ප්‍රකාශය සිදු කළ බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.වසර 1988න් පසු පන්ජාබ් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බව ද වාර්තා වේ.

අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 23ක ගම්මාන 1,655ක් ජලයෙන් යටවී ඇති අතර, අවතැන් වූ සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්න වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ගංවතුරෙන් එම ප්‍රාන්තයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, හෙක්ටයාර් 40,000කට ආසන්න බෝග වගාව ගංවතුරට හසුවී ඇති බවත් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Dinamina