Friday, August 15, 2025
Follow Us
ශ්‍රී ලාංකේය සිසුන් 30කට පශ්චාද් සහ ආචාර්ය උපාධි සඳහා චීනයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා චීන රජය මඟින් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30දෙනෙකු සඳහා පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී ඇති බවත් එය රටේ අනාගතය ගොඩනැඟීම සඳහා වන ආයෝජනයක් බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ‍නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ පැවති අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

වසර ගණනාවක් පුරා, චීන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන් බොහෝ දක්ෂ ශ්‍රී ලාංකික සිසුන්ට චීනයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ඔවුන්ගේ අධ්‍යයන සිහින හඹා යාමට දොරටු විවර කර දී තිබෙනවා. කුසලතා මත පදනම් වූ සාධාරණ හා විනිවිද තේරීම් ක්‍රියාවලියක් හරහා අපි ශිෂ්‍යයන් තෝරාගෙන තිබෙනවා. මෙවැනි අවස්ථා නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට සහ ඉදිරි පරම්පරාව සඳහා තිරසාර සංවර්ධනයක් ළඟා කර දීමට අවශ්‍ය ශක්තිය අප රටට ලබා දෙනවා.අපගේ ශිෂ්‍යත්වලාභීන්ට අද සිට ජීවිතයේ ආකර්ෂණීය නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වේවී.

2025 වර්ෂය වන විට සිසුන්165 කට අධික ප්‍රමාණයක් මෙම ශිෂ්‍යයත්ව වැඩසටහනින් ප්‍රතිලාභ ලබා ඇති අතර ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කළමනාකරණය සහ කලා යන ක්ෂේත්‍රවලින් එම ශිෂ්‍යයත්ව දිනා ගෙන තිබේ.

මෙම අවස්ථාව සඳහා චීන තානාපති ගරු Qi Zhenhong මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ උසස් අධ්‍යාපන අංශයේ නිලධාරීන් මෙන් ම ශිෂ්‍යත්වලාභීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.