Friday, August 15, 2025
Follow Us

ලොව නවීනතම තාක්ෂණය සමඟ බද්ධ ව පෙරට යාමටත් එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් Huawei ශිෂ්‍යත්ව දිනාගත් ලාංකේය සිසුන්ට හැකිවනු ඇති බවත් මෙවන් වැඩසටහන් මඟින් දෙරට අතර ඇතිවන මිත්‍රත්වයේ ශක්තිමත් පාලම පිළිබඳ සතුටු විය හැකි බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසී ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2025.08.13 වන දින කොළඹ දී එම ශිෂ්‍යත්ව ප්‍රදානය සමඟ එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දා සිට එය තාක්ෂණික පුහුණුවෙන් ඔබ්බට ගොස් අපගේ තරුණ තරුණියන්ට ලෝක මට්ටමේ දැනුම, අති නවීන තාක්ෂණය සහ සංස්කෘතික හුවමාරුව වෙත ප්‍රවේශ වීමට මාර්ගයක් විවෘත කර දී තිබෙනවා. මෙය ඊළඟ පරම්පරාවේ නායකයින් සහ නවෝත්පාදකයින් සෘජුවම සවිබල ගැන්විය හැකි ආකාරය පිළිබඳ ආදර්ශයක්. අපගේ සිසුන්, මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඔබේ ජයග්‍රහණ ඔබේම අනාගතය හැඩගස්වා ගැනීමට පමණක් නොව, අන් අයට ද සිහින දැකීමට සහ ඉහළ ඉලක්ක තැබීමට පෙළඹවීමක් ඇති කරනවා යනුවෙන් ද පැවසී ය.

පේරාදෙණිය, කැලණිය, රුහුණ, මොරටුව, වයඹ සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා සහිත තරුණ සිසු සිසුවියන් මේ වසරේ ශිෂ්‍යත්ව ලබා ගැනීමට සමත් වූ අතර මෙම අවස්ථාව සඳහා චීන තානාපති ගරු Qi Zhenhong මහතා, Huawei Technologies Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mr. Zhang Jinse, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, සිසුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් එක් වූහ.