Wednesday, August 06, 2025
Follow Us
බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ නිවාස අඩස්සියට

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කර තිබේ.

කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනා මත ඔහු මේ වන විට නඩු විභාගයකට මුහුණ දෙමින් සිටි. 2022 මැතිවරණය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට චෝදනා එල්ල වී තිබුණි. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වන වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යි.

බොල්සොනාරෝට එල්ල වී ඇති චෝදනා අතර, සන්නද්ධ අපරාධ සංවිධානයකට නායකත්වය දීම, කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රචණ්ඩ ලෙස අහෝසි කිරීමට උත්සාහ කිරීම, පෞරාණික උරුමයන්ට හානි කිරීම සහ ගැටුම් ඇති කිරීම ද වේ. බ්‍රසීලයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වරදකට සාමාන්‍යයෙන් වසර 12ක් දක්වා සිර දඬුවමක් නියම වේ.

2023 ජනවාරි මාසයේදී ලූලාගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් රාජ්‍ය ආයතනවලට කඩා වැදී කොල්ලකෑම් සිදු කළ අතර, බොල්සොනාරෝ ඔහුගේ පරාජය ප්‍රසිද්ධියේ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබුණි.

අධිකරණ නියෝගයට අනුව, බොල්සොනාරෝ නිවාස අඩස්සියේ සිටින අතරතුර ඔහුගේ ඥාතීන්ට සහ නීතිඥයින්ට පමණක් ඔහුව හමුවීමට අවසර හිමි වේ. ඔහුගේ නිවසේ තිබූ සියලුම ජංගම දුරකථන ද ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Dinamina