ධූරකාලය අවසන් කරන ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (04) අග්රාමාත්ය කාර්යාලයේදී සිදුවිය.
මහ කොමසාරිස්තුමා පිළිගනිමින්, තම ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු දැක්වූ සැලකිය යුතු දායකත්වය පිළිබඳව අග්රාමාත්යවරිය සිය කෘතඥතාව පළ කළාය.
මෙහිදී මහකොමසාරිස්වරයා රජය විසින් මෑත කාලීනව ගත් ක්රියාමාර්ග අගය කළ අතර ශ්රී ලංකාවේ සංවර්ධන ප්රයත්නයන් සඳහා ඕස්ට්රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළේය.
සාකච්ඡාව අතරතුර, ආයතනික විධිවිධාන ශක්තිමත් කිරීම, කලින් ඇණහිට තිබූ ව්යාපෘති නැවත පණ ගැන්වීම සහ අධ්යාපන ප්රතිසංස්කරණ ඇතුළු රජයේ ප්රමුඛතා පිළිබඳව අග්රාමාත්යවරිය විස්තර කළාය. එවැනි ව්යාපෘතීන්හි වැදගත්කම පිළිගත් මහකොමසාරිස්වරයා ශ්රී ලංකාවේ අධ්යාපන ප්රතිසංස්කරණ ඇතුළු ව්යාපෘතීන් සඳහා ඕස්ට්රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලැබෙන බව අවධාරණය කළේය.
මෙම හමුවට දෙපාර්ශ්වයේම ජ්යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. ඕස්ට්රේලියානු දූත පිරිසට නියෝජ්ය මහ කොමසාරිස් Lalita Kapur මහත්මිය, පළමු ලේකම් (සංවර්ධන) Sophie Gordon මහත්මිය සහ ඕස්ට්රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) Matthew Lord මහතා ඇතුළත් විය. ශ්රී ලංකා දූත පිරිසට අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ නියෝජ්ය අධ්යක්ෂ තිලෝමා අබයජීව මහත්මිය ඇතුළත් විය.