ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ශ්රී ලංකා - තුර්කි ඒකාබද්ධ කමිටුවේ ( JCETC ) 3 වන සැසිවාරය ඊයේ(24) කොළඹ දී සාර්ථකව පැවැත්විණි. එය දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ ප්රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
මෙහිදී වෙළෙඳ, ආයෝජන, කෘෂිකර්මාන්ත, අධ්යාපනය, සමුද්රීය කටයුතු, ප්රවාහන, සෞඛ්ය, සංචාරක සහ තාක්ෂණය යන අංශයන්හි දෙරට අතර ඇති සහයෝගීතාව වර්ධනය වෙනුවෙන් දෙරටෙහි කැපවීම අවධාරණය කරන ලදි.
ශ්රී ලංකා දූත පිරිසේ ප්රධානත්වය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා විසින් දරණ ලද අතර තුර්කි දූත පිරිසේ ප්රධානත්වය තුර්කි ජනරජයේ ජාතික අධ්යාපන අමාත්ය යූසුෆ් ටෙකින් මහතා විසින් දරන ලදී.
ශ්රී ලංකාව සහ තුර්කිය අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2024 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 257 දක්වා ළඟා වූ අතර එයින් ශ්රී ලංකාවේ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 137 ක් විය. තුර්කියේ සිට ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් පමණ විය. අපනයනයෙන් 70% ක පමණ කොටසක් ශ්රී ලංකාවේ තේ සඳහා ලැබී ඇති අතර ඇඟලුම්, සක්රීය කාබන්, පොල් ආශ්රිත නිෂ්පාදන සහ නැවත පිරවූ ටයර් අනිකුත් අපනයන කාණ්ඩයන් අතරේ ඇත.
මෙතෙක් ප්රයෝජනයට නොගත් වෙළෙඳ විභවය හඳුනා ගනිමින් අපනයනය වැඩිදියුණු කිරීමට සහ වෙළෙඳපල ප්රවේශය වැඩිදියුණු කිරීමට අදාළ සියලූම අවස්ථාවන් ගවේෂණය කළ යුතු බව අවධාරණය කරන ලදී.
ශ්රී ලංකා අපනයනවල තරගකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා ව්යාපාර ගැලපුම් සබඳතා ශක්තිමත් කිරීම සහ තුර්කි රජය විසින් ලබාදෙනු ලබන වරණීය පොදු ක්රමය ( GSP ) උපයෝගී කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකා එක්ස්පෝ 2026 ඇතුලු වෙළඳ ප්රවර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගත් වෙළෙඳ ප්රදර්ශන දින දර්ශනයක් පිළිබඳවද දෙරට සාකච්ඡා කරන ලදි.
ශ්රී ලංකා - තුර්කි ආයෝජන වැඩි දියුණු කිරීමේ මාර්ග පිළිබඳවද කමිටුව සාකච්ඡා කළ අතර දෙපාර්ශ්වයම ඉලක්කගත ප්රවර්ධනය සඳහා ඉහළ විභවයක් ඇති අංශ කිහිපයක් හඳුනා ගන්නා ලදී. ආහාර සැකසීම, පුනර්ජනනීය බල ශක්තිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ( ICT ), වෛද්ය උපකරණ සහ රබර් ආශ්රිත නිෂ්පාදන මෙයට ඇතුළත් වේ.
නවෝත්පාදන ඩිජිටල් පරිවර්තනය සහ විද්යාව හා තාක්ෂණයේ සහයෝගීතාවයේ අනාගත විභවය පිළිබඳව ද සංවාදවලදී අවධාරණය කෙරිණි.
සමුද්රීය ප්රවාහනයේදී සැපයුම් සහ සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද අතර සෞඛ්ය ක්ෂේත්රය තුළ විශේෂයෙන් නැගී එන වෛද්ය තාක්ෂණයන්, ක්ෂේත්රයේ ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා රටවල් දෙකම ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කළහ.
2024 දී ශ්රී ලංකාවට තුර්කි සංචාරකයින්ගේ පැමිණීම 78% කින් ඉහළ යාම මගින් සංචාරක ව්යාපාරය සාකච්ඡාවලදී ප්රමුඛ ස්ථානයක් ගන්නා ලදී. කොළඹට දිනපතා ගුවන් ගමන් ක්රියාත්මක කරන තුර්කි ගුවන් සේවය මෙම සම්බන්ධතාවයන් වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
රේගු සහයෝගිතා ගිවිසුම සහ ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම වැනි ප්රධාන ද්වීපාර්ශ්වික මෙවලම්, වෙළෙඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම, ව්යාපාරික වාතාවරණය වැඩිදියුණු කිරීම සහ ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා අත්යවශ්ය බව රටවල් දෙකම හඳුනාගන්නාා ලදී.