Saturday, June 21, 2025
Follow Us
දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ගරු සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. පසුගියදා (18) පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද සහභාගී වූවාය.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1994 දී ආරම්භ කළ බවත්, වෙළඳ, සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡාව අතරතුරදී කථානායකවරයා අවධාරණය කළේය. එමෙන්ම දකුණු අප්‍රිකාවේ සංහිඳියා යාන්ත්‍රණය සාමයේ වැදගත්කම පිළිබඳව ලෝකයට ප්‍රමුඛ පණිවිඩයක් ලබා දෙන බව සඳහන් කළ කථානායකවරයා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව දකුණු අප්‍රිකානු රජයට කෘතඥතාවද පළ කළේය.

දකුණු අප්‍රිකානු රජයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී පැහැදිලි කළ අතර, එමඟින් සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන අතරම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමද අරමුණු කොට ඇති බවද සඳහන් කළේය. දෙරට අතර පාර්ලිමේන්තු සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපනය කිරීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේය.

තවද, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා අතර පැවති සුහද සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහිද අවධානය යොමු විය.